ආණ්ඩුවට එක්වූ ප්රජාතන්ත්රවාදී පක්ෂයේ මන්ත්‍රීවරුන්ට ලක්ෂ 1500 ක්
ප්රජාතන්ත්රවාදී පක්ෂයේ ජාතික සංවිධායක
අරලියගහ මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවී ආණ්ඩුවට එක්වූ ප්රජාතන්ත්රවාදී පක්ෂයේ පළාත් මන්ත්‍රීවරුන් තිදෙනාට රුපියල් ලක්ෂ 1500 ක් ලබාදී තිබෙන බව ප්රජාතන්ත්රවාදී පක්ෂයේ ජාතික සංවිධායක කපිතාන් ගයාන් විතාන මහතා පැවසීය.
එහිදී එක් අයෙකුට රුපියල් ලක්ෂ 500 ක් හා වාහන බලපත්‍රය බැගින් ලබාදී ඇතැයි ජාතික සංවිධායකවරයා ප්‍රකාශ කළේය.
ප්රජාතන්ත්රවාදී පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ ඊයේ (11දා) පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී හෙතෙම මේ බව පැවසීය.
කුරුණෑගල, ගාල්ල සහ ගම්පහ දිස්ත්‍රික්ක නියෝජනය කරන මෙම මන්ත්‍රීවරුන් තිදෙනා ආණ්ඩුවට ගැනීමේ කපුකම සිදුකර තිබුණේ වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර, පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි සහ ඛනිජ තෙල් කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන යන මහත්වරුන් විසින් යැයි ගයාන් විතාන මහතා සඳහන් කළේය.
ප්රජාතන්ත්රවාදී පක්ෂයේ දකුණු පළාත් සභා මන්ත්‍රී එච්.එල්. පද්මසිරි ද සිල්වා, වයඹ පළාත් සභා මන්ත්‍රී ආර්.එම්.එම්. රත්නායක සහ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී එච්.කේ. අශෝක දයාරත්න මහත්වරුන් මෙසේ ආණ්ඩු පක්ෂයට එක්ව තිබුණි.
මේ අතර එම පක්ෂයේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රංගන ශිල්පී නලින් ප්‍රදීප් උඩවෙල මහතා මෙම මාධ්‍ය හමුවේදී සඳහන් කළේ, රුපියල් ලක්ෂ 500 ක් සහ වාහන බලපත්‍රයක් ලබාදෙන බව කියමින් ආණ්ඩුවට එක්වන්නැයි ඉහළම තමන්ට තැනකින් ආරාධනයක් ලැබුණු බවයි. එම ආරාධනය ප්‍රතික්ෂේප කළ බව පැවසූ උඩවෙල මහතා, කිසිදිනෙක ජනතාව තැබූ විශ්වාසය කඩ නොකරන බවත්, ජනතාවට එරෙහි නොවන බවත් කියා සිටියේය.
ගයාන් විතාන මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් මෙම මන්ත්‍රීවරුන් තිදෙනා මීට පෙරද ආණ්ඩුවට එක්වීමට සූදානමින් සිටි අය බව සඳහන් කළේය. ප්රජාතන්ත්රවාදී පක්ෂයේ මන්ත්‍රීවරුන් පමණක් බිලී බා ගැනීමට ආණ්ඩුව උත්සාහ ගන්නේ තම පක්ෂයට ඇති බිය නිසා බවත්, එක්සත් ජාතික පක්ෂය හෝ ජනතා විමුක්ති පෙරමුණ දෙසට ඔවුන් අවධානය යොමු නොකරන්නේ ඒ නිසා බවත් හෙතෙම පවසා සිටියේය.
ප්රජාතන්ත්රවාදී පක්ෂයට ජනතාව ඡන්දය ලබාදුන්නේ කිව් දේ කළ, කළ දේ කියූ නායකයෙකු වන සරත් ෆොන්සේකා මහතාගේ චරිතය නිසා බවත්, ප්රජාතන්ත්රවාදී පක්ෂය ඔවුන්ට කරදරයක් වී ඇති නිසා දුර්වල මන්ත්‍රීවරු දඩයම් කිරීම සිදුවන බවත් ගයාන් විතාන මහතා සඳහන් කළේය.
ප්‍රතිකාර සඳහා මේ වනවිට විදෙස් ගතව සිටින සරත් ෆොන්සේකා මහතා රට තුළ නොමැති අවස්ථාවකදී ආණ්ඩුව මෙසේ කටයුතු කිරීම ගැන ඔවුන්ට ඡන්දය දීමට බලා සිටින ජනතාව ලැජ්ජාවට පත්විය යුතු බවද ඔහු පැවසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

