ආගම්වාදයට එරෙහිව පොලීසිය ඉතාමත් ඉක්මනින් ක්රියාත්මක විය යුතු බව අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා පවසයි. එසේම පොලීසියට, අධිකරණයට හා නීතිපති දෙපාර්තමේන්තුවට නීතිය ක්රියාත්මක කිරීමට අවස්ථාව රජය විසින් ලබාදී ඇති බවද අග්රාමත්යවරයා පැවැසීය.
අරලියගහ මන්දිරයේදී අද (23දා) තරුණ තරුණියන් ඇගයීමේ උත්සවයකදී අග්රාමාත්යවරයා මෙම අදහස් දැක්වීය.
ආගම්වාදය ඇති කිරීමට යමෙකු කටයුතු කරනවානම් එය වහාම නතර කළ යුතු බවත්, බෙදුම්වාදය ඉස්මතු කිරීමට නොහැකිවූ විටදී ආගම්වාදය ඉදිරියට ගෙන ඒමට ඇතැම් පිරිස් කටයුතු කරන බවත් වික්රමසිංහ මහතා සඳහන් කළේය.
“බෙදුම්වාදය ඉස්මතු කිරීමට උත්සාහ කර එය අසාර්ථක වූ පසුව ඇතැම් කල්ලි කණ්ඩායම් ආගම්වාදය ඉදිරියට ගෙන රට අස්ථාවර කිරීමට උත්සාහ කරනවා. එමෙන්ම ජාතිවාදය අදින්නට උත්සාහ කරනවා. සියලුදෙනා එක්ව එවැනි ක්රියාදාමයන් හෙළා දැකිය යුතුයි.
ශ්රී ලාංකිකයන් බෙදන්නට ඉඩදෙන්න බැහැ. ආගම යනු සියලුදෙනා එක්කරන සංකල්පයක්. ජනතාව අතර බෙදීම් ඇති කරන සංකල්පයක් නොවේ. ආගම්වාදය, ජාතිවාදය ඇති කරන්නට සමහරුන් උත්සාහ කරනවා නම් එය වහාම නතර කළ යුතුයි.
ක්රිස්තියානි, ඉස්ලාම්, හින්දු, බෞද්ධ කිසිදු දහමක වෛරයක් ඇති කරන්නැයි පවසා නැහැ. අප කතා කළ යුත්තේ කෙසේදැයි බුදුන් වහන්සේ දේශනා කර තිබෙනවා. යමෙකු නීතිය කඩනවා නම් ඊට එරෙහිව වහාම ක්රියාත්මකවීමට පොලීසියට යුතුකමක් තිබෙනවා. ඒ පිළිබඳව සම්පූර්ණ වගකීම පොලිසියට භාරදී තිබෙනවා. කුමන ජාතියක්, ආගමක් වුවත් නීති උල්ලංඝනය කිරීමට හැකියාවක් නැහැ.
මෙවැනි වැරැදිවලට එරෙහිව පොලීසිය කල්නොගෙන වහාම ක්රියාත්මක විය යුතුයි. පොලීසියට, අධිකරණයට මෙන්ම නීතිපති දෙපාර්තමේන්තුවට නීතිය ක්රියාත්මක කිරීමේ වගකීම භාරදී අප ගම්මානවලට ගොස් තරුණ නායකයන් ලෙස මෙරට සමගිය ආරක්ෂා කිරීමට ජාතිවාදය, ආගම්වාදය හෙළා දැකීමට ක්රියා කරමු.”යැයි අග්රාමාත්යවරයා වැඩිදුරටත් පවසා සිටියේය.