විශාල ගංවතුරක් ඇතිවී මෙරට ජනතාව මහත් ඛේදවාචකයකට පත්ව ඇති බවත්, අවුරුද්දෙහිම වැටුප එක් මසෙකින් ලැබෙන්නා සේ වර්ෂාව ඇද හැළුණු බවත් වාරිමාර්ග හා ජල සම්පත් අමාත්‍ය විජිත් විජයමුනි සොයිසා මහතා පැවසීය.
හෙතෙම මේ බව පැවසුවේ, ඊයේ (28දා) සවස සෙවණගල කිරිඉබ්බන්ආර සඳරාජ මහා විද්‍යාලයේ පැවැති ජන හමුවක් අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
"වැස්සත් මහා පරිමාණ ලෙසම තමයි වහින්නේ. වගාවක් කරගන්න වතුර නෑ. වැස්සක් දකින්නවත් නෑ. එහෙම තියෙද්දි තවත් පැත්තකට වැහැලා ජනතාව ලක්ෂ ගණනින් අවතැන් වෙලා. විපතට පත්වෙලා. ඉතින් මේ වනවිට ජලය සම්බන්ධයෙන් විශාල අර්බුද රැසක් මතුව තියෙනවා.
ඉතිහාසය දිහා බැලුවාම වහින වැස්ස පොළොවේ රඳවා ගැනීම අතින් ලෝකෙන්ම අංක එකේ හිටියේ අපි. නමුත් වර්තමානය වනවිට අපි ඉන්නේ දෙවැනි තැන. පළමු තැන ඉන්නේ තායිලන්තය. ඒ නිසා අපි දැන්වත් කරන්න ඕනේ වැව් ටික හදන එක. අලුතින් ජලාශ හදන එක හා ඇළවේළි පුළුල් කරන එක, පොකුණු හදන එක. නමුත් අද අලුතින් ජලාශයක් හදන්න ගියාම වෙන්නේ මොකද්ද. ගම්මු ඔක්කොම එකතු වෙලා තව කවුරු හරි සංවිධන දෙක තුනකුත් පටලවාගෙන උද්ඝෝෂණ කරනවා" යැයි පැවසීය.
සූරියවැව ණුවන් ජයසේකර