මෙවර ශ්‍රීපාද වන්දනා සමය අවසන් වීමෙන් පසු අවාරයෙහි රාත්‍රී කාලයේ ශ්‍රීපාදය කරුණා කිරීමට තහනම් කිරීමට කටයුතු කරන බව ශ්රීපාදස්ථානාධිපති, ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති බෙංගමුවෙ ධම්මදින්න නාහිමියෝ පැවසූහ.
උන් වහන්සේ මේ බව පවසා සිටියේ, මෙවර ශ්‍රීපාද වන්දනා වාරය අවසන් වීම සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමට පෙරේදා (05දා) නල්ලතන්නිය බෞද්ධ මධ්‍යස්ථානයේදී පැවැති විශේෂ සාකච්ඡාවකදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්රීපාදස්ථානාධිපති හිමියන් පවසා සිටියේ, පසුගිය වසරේ කිසියම් පිරිසක් අවාරයේ රාත්‍රී කාලයේ ශ්‍රීපාද මළුව කරා ගොස් ශ්රීපාදස්ථානයට අගෞවරයක් වන ලෙස හා ජාතීන් අතර අසමගියක් ඇතිකරන පරමාර්ථයෙන් කටයුතු කර තිබීම හේතුවෙන් මෙම තීරණයට එළැඹි බවයි.
අවාරයෙහි දිවා කාලයේ ශ්‍රීපාදය කරුණා කරන සංචාරකයන් නල්ලතන්නිය පොලීසිය දැනුවත් කර ශ්‍රීපාදස්ථානය කරුණා කළ යුතු බවද උන් වහන්සේ පවසා සිටියහ.
ජනාධිපති ලේකම් කාර්යාලය හා මධ්‍යම පරිසර අධිකාරිය එක්ව ශ්‍රීපාද පුදබිම රැකගැනීමට ක්‍රියාත්මක කළ පරිසර වැඩසටහන හේතුවෙන් මෙවර ශ්‍රීපාද වන්දනා වාරයේදී සැලකිය යුතු ප්‍රමාණයකින් පොලීතින් භාවිතය අවම කර ගැනිමට හැකිවූ බවද නාහිමියෝ පැවසූහ.
මෙවර ශ්‍රීපාද වන්දනා වාරය වෙසක් පොහොය (10දා) දිනයෙන් අවසන් වන අතර, ශ්‍රීපාද උඩ මළුවෙ තැන්පත් කර තිබෙන සාඨාතුක කරඬුව, සමන් දේව ප්‍රතිමාව හා දේව ආභරණවලින් කොටසක් ශ්‍රීපාද උඩමළුවේ සිට රත්නපුර පළාබද්ද මාර්ගය ඔස්සේ පැල්ලමඩුල්ල, ගල්පොත්තාවල රාජමහා විහාරස්ථානය දක්වා මේ මස 11 වැනිදා වැඩම කරවීමට නියමිතය.