යාපනය චාවකච්චේරි පස්මන් සන්ධිය අසලදී ඊයේ (07දා) සවස ආයුධ සන්නද්ධව යතුරු පැදිවලින් පැමිණි පිරිසක් විසින් සිදුකරන ලද පහරදීමකදී තිදෙනෙකු කැපුම් තුවාල සහිතව රෝහල්ගත කර තිබේ.
පස්මන් සන්ධියේ කයිතඩි පාලම අසල පිහිටි වෙළෙඳසැලකට තරුණයන් දෙදෙනෙකු තේ පානය කිරීම සඳහා පැමිණ ඇති අතර, එහිදී එකවරම මුහුණු ආවරණය කරගත් පිරිසක් යතුරු පැදි දෙකකින් පැමිණ තියුණු ආයුධවලින් පහරදී තිබේ. පසුව තුවාල ලැබූවන් චාවකච්චේරි රෝහලට ඇතුළත් කර තිබේ.
කෙසේ වෙතත් අදාළ පහරදීමට සම්බන්ධ කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති අතර, කැපුම් තුවාල ලැබූ තිදෙනාගේ තත්ත්වය බරපතළ නොවන බවත්, පහරදීම් සිදුකළ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම් සඳහා පුළුල් පරික්ෂණයක් ආරම්භ කර ඇති බවත් චාවකච්චේරි පොලීසිය පවසයි.