අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගාල්ල දිස්ත්රික්යේ ගිං ගඟේ ජල මට්ටම ඉහළ ගිය අතර ඒ හේතුවෙන් එම ප්රදේශයේ පහත්බිම්වල ගංවතුර තත්ත්වයක් හටගත් බවත් දිස්ත්රික්කයේ ප්රාදේශීය ලේකම් කොට්ඨාස 06ක පවුල් 23ක පුද්ගලයන් 100 දෙනෙකු පීඩාවට පත්ව ඇති බවත් ගාල්ල ආපදා ඒකකය පවසයි.
මේ අනුව කරන්දෙණිය, වැලිවිටිය දිවිතුර, අක්මීමණ, ඇල්පිටිය, හබරාදූව සහ අම්බලන්ගොඩ යන ප්රදේශවල ගංවතුර තත්ත්වයක් පවතින බවත් ගාල්ල නෙළුව, තවලම යන ප්රදේශීය ලේකම් කොට්ඨාසයන්හි ජලය බැසයමින් පවතින බවත් හිනිදුම, හබරකඩ හා බද්දේගම දොඩංගොඩ වැනි ගඟේ පහළ ප්රදේශ තවමත් ජලයෙන් යටව පවතින බව එම ඒකකය පෙන්වා දෙයි.
එමෙන්ම මිපේ ප්රදේශයේ සුළු නායයෑම් කිහිපයක් හටගෙන ඇති අතර එම ස්ථානයේ පදිංචි පුද්ගලයින්ට ඉවත්වන ලෙස අනතුරු ඇඟවිම් සිදු කර ඇති බවත් හබරාදූව එක් නිවෙසකට පූර්ණ හානි සිදුව ඇති අතර දිස්ත්රික්කයේ නිවාස 22කට අර්ධ හානි සිදුව ඇති බව ආපදා ඒකකය වැඩිදුරටත් සදහන් කර සිටියි.
තවද දිස්ත්රික්කයේ ගංගා ආශ්රිත මෝය කටවල් කිහිපයක් මේ වන විටත් විවෘත කර ගඟේ ජලය බාධාවකින් තොරව පහළට ගලායෑමට සලස්වා ඇති බවත් බද්දේගම , බෝපෙ පෝද්දල, නියාගම, නෙළුව, වැලිවිටිය දිවිතුර, නාගොඩ ප්රාදේශීය ලේකම් කොට්ඨාශයන්හි පහත්බිම්වල ජල මට්ටම තවදුරටත් ඉහළ යන හෙයින් අවධානයෙන් සිටින ලෙස මහජනතාවගෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.
ගාල්ල සිරංගිකා ලොකුකරවිට, නෙළුව පියරත්න ජයවික්රම