ගිලා බසිමින් තිබෙන බණ්ඩාරවෙල අඹදණ්ඩේගම, ගලහිටියාව ප්රදේශයේ මැදපොල්වත්ත නැමැති ස්ථානයට පුද්ගලයන් ඇතුළුවීම තහනම්කළ බවත්, එම ස්ථානයේ සිට මීටර් 500ක් පමණ දුරට එම තහනම ක්රියාත්මක බවත් බණ්ඩාරවෙල මූලස්ථාන ප්රධාන පොලිස් පරීක්ෂක එච්.ඒ. ගුණරත්න මහතා පැවසීය.
ඊයේ (15දා) සවස2.30ට පමණ මෙම ගිලා බැසීම ආරම්භ වී ඇති අතර, අඩි 30ක පමණ විෂ්කම්භයක් සහිත කොටසක් අඩි 40ක් පමණ ගැඹුරට කවාකාරව ගිලා බැස තිබේ. විශාල කොස් ගසක්ද එම වළ තුළට කඩා වැටී තිබේ. පොළොව යටින් ශබ්දයක් ඇසෙන බවද ප්රදේශවාසීහු කියති.
ගිලා බැසීම සිදුවන ස්ථානයේ එක් නිවාසයක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර, තවත් නිවාසයක් විනාශ වෙමින් පවතින බවත්, එම නිවැසියන් ඇතුළුව එම බලපෑමට ලක්විය හැකි නිවාස12ක පදිංචිකරුවන් ඉවත් කළ බවත් බණ්ඩාරවෙල ප්රාදේශීය ලේකම් නිහාල් ගුණරත්න මහතා පැවසීය.