අමරපුර නිකායේ උත්තරීතර මහනායක ධුරය සහ එම නිකායේ ලේඛකාධිකාරී ධුරය සඳහා ප්‍රථම වරට ඡන්ද විමසීමක් පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.ඒ සඳහා අමරපුර නිකායේ උත්තරීතර මණ්ඩලය බත්තරමුල්ල තපෝවනය විහාරයේදී මේ මස 26 වැනිදා රැස්වීමට නියමිතය.
අමරපුර නිකායේ පාර්ශ්ව 22 හි මහනායක හිමිවරුන්ගේ ඡන්දයෙන් මෙවර මහනායක ධුරයට හිමිනමක් පත් කරගනු ලබන අතර, එහිදී එක් පාර්ශ්වයක් සඳහා ඡන්ද හතරක් හිමි වෙයි.ඒ අනුව ගල්කිස්ස ධර්මපාලාරාමාධිපති කොටුගොඩ ධම්මාවාස හිමියන් සහ බත්තරමුල්ල තපෝවනය විහාරාධිපති දොඩම්පහල චන්ද්‍රසිරි හිමියෝ උත්තරීතර මහනායක ධුරය සඳහා ඉදිරිපත්ව සිටිති.
මේ වනවිට පාර්ශ්ව වැඩි ප්‍රමාණයක කැමැත්ත හිමි වී ඇත්තේ කොටුගොඩ ධම්මාවාස හිමියන්ට බව වාර්තා වෙයි.එසේම ලේඛකාධිකාරී ධුරය සඳහාද තරගයක් පවතින බැවින් ඡන්ද විමසීමක් සිදු කිරීමට සැලසුම් කර තිබෙන අතර දිනියාවේ අමරවංශ හිමියන් ලේඛකාධිකාරී ධුරය සඳහා ඉදිරියෙන්ම සිටින බව වාර්තා වන අතර, ඡන්ද විමසීමක් සිදුකරන බැවින් අමරපුර නිකායේ නියෝජ්‍ය ලේකම් ආචාර්ය පල්ලේකන්දේ රතනසාර හිමියෝද ඉදිරිපත්ව සිටිති.
බලංගොඩ ආනන්ද මෛත්‍රී නාහිමියන් සමස්ත අමරපුර නිකායේ උත්තරීතර සභාපති ධුරය දරන සමයේදී උන්වහන්සේ වෙනුවෙන් එම නිකායේ උත්තරීතර මහනායක ධුරයක් මුල්වරට හඳුන්වා දී තිබුණි. එහෙත් බලංගොඩ ආනන්ද මෛත්‍රී නාහිමියන් විසින් එම තනතුර ප්‍රතික්ෂේප කර මහනායක පදවිය අත්හැරීම නිසා පුරප්පාඩු වූ තනතුරට මඩිහේ පඤ්ඤාසීහ නාහිමියෝ පත්වූහ.
මෙම මහනායක ධුරය හඳුන්වා දීමට පෙර සමස්ත අමරපුර නිකායේ සභාපති, ලේකම්, නියෝජ්‍ය ලේකම්, භාණ්ඩාගාරික ආදී තනතුරු නාමයන් පමණක් පැවතුණි.මඩිහේ පඤ්ඤාසීහ මහනායක හිමියන් අපවත් වීමෙන් පසුව දවුල්දෙණ ඤාණිස්සර හිමියෝ එම උත්තරීතර මහනායක ධුරය දැරූහ.එහිදී කාරක සභාව විසින් මහනායක ධුරයන් පත්කර තිබුණේ ඡන්ද විමසීමකින් තොරව සියලු පාර්ශ්වවල කැමැත්ත මතය.