අධ්‍යාපන අමාත්‍යාංශයට ලැබුණු පෙළපොත් සියල්ල සිසුන්ට බෙදාහැරි බව අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල් අයි.එම්.කේ.බී. ඉලංගසිංහ මහතා පවසයි.
රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ පවතින අධික කාර්යබහුලත්වය හේතුවෙන් පොත් වර්ග කිහිපයක් පමණක් දැනට ලැබී නොමැති බවත්, මෙතෙක් නොලැබුණු එම පොත් ඉක්මනින් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ලබාගෙන කඩිනමින් සිසුන් වෙත ලබාදීමට පියවර ගන්නා බවත් කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරයි.
පෙළපොත් මුද්‍රණය සඳහා මේ වසරේදී රුපියල් බිලියන 03කට අධික මුදලක් වැය කොට ඇති බවත්, නොමිලේ ලබාදෙන පෙළපොත් විකිණීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කරන බවට පැතිරී යන ප්‍රචාර සම්පූර්ණයෙන් අසත්‍ය බවත් හෙතෙම ප්‍රකාශ කරයි.
පෙළපොත් වෙනුවට වවුචරයක් නිකුත් කිරීමට පියවර ගන්නා බවට පැතිර යන මතය සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත්, අධ්‍යාපන අමාත්‍යාංශය එවන් කිසිදු තීරණයකට එළඹ නොමැති බවත් ඉලංගසිංහ මහතා අවධාරණය කරයි.
පෙළපොත් ලැබී නොමැති බවට සිසුන්ගෙන්, දෙමවුපියන්ගෙන් හෝ වෙනත් කිසිදු අධ්‍යයන පාර්ශ්වයකින් චෝදනා හෝ පැමිණිලි ලැබී නොමැති බවත්, එවන් පැමිණිල්ලක් ලද වහාම අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව සතුව පවතින පෙළපොත් සංචිත තුළින් අවශ්‍ය පෙළපොත් ලබාදීමට කටයුතු කරන බවත් හෙතෙම ප්‍රකාශ කරයි.
අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල් අයි.එම්.කේ.බී. ඉලංගසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ පෙළපොත් විකුණන බවට විවිධ පාර්ශ්ව චෝදනා එල්ල කරනුයේ කරුණු සොයා බැලීමකින් තොරව, විවිධ පටු දේශපාලන අරමුණු පදනම් කරගනිමින් සහ විවිධ කණ්ඩායම්වල උසිගැන්වීම් හේතුවෙන් බවයි.