මාධ්‍යවේදීන් හා මාධ්‍ය ආයතන ඉලක්ක කර ගනිමින් අගමැතිවරයා විසින් පසුගිය සතියේ කරනලද ප්‍රකාශ වලට ඒකාබද්ධ විපක්ෂයේ බලවත් විරෝධය පළකරන බවත් එය පුරවැසියාගේ ශුද්ධවූ අයිතීන් වලට එරෙහිව කරන ලද ප්‍රකාශයන් බවත් ඒකාබද්ධ විපක්ෂය පැවසයි.
සිය මාස 18 ක ධූර කාලය තුල අගමැතිවරයා විසින් මාධ්‍යට හා මාධ්‍යවේදීන්ට කරන ලද පළමු තර්ජනය මෙය නොවන නිසා, වර්ධනය වන මෙම තත්වය සමාජයේ ඉහළම අවදානය හා හෙළාදැකීම උචිත බව නිවේදනයනක් නිකුත්කරමින් ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් ජී.එල්. පීරිස් මහතා මේබව පවසා ඇත.
අදාළ නිවේදනය පහත පරිදි වේ.
2016.07.26
මාධ්‍ය නිදහස පිළිබඳ ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය නිවේදනය
මාධ්‍යවේදීන් හා මාධ්‍ය ආයතන ඉලක්ක කොට අගමැතිතුමා විසින් පසුගිය සතියේ කරනලද ප්‍රකාශ වලට අපගේ බලවත් විරෝධය පළකරන අතර, එය පැහැදිලිව පුරවැසියාගේ ශුද්ධවූ අයිතීන් වලට එරෙහිව කරන ලද ප්‍රකාශයන් බව නිසැකය.
මෙරටජ්යෙෂ්ඨහා ගෞරවයට පාත්‍ර වූ මාධ්‍යවේදියකු සෘජු ගොදුරක් බවට පත්කරගත් අගමැතිවරයා, එම කතුවරයා ඉල්ලා අස්වන ලෙස බලකිරීමෙන් නොනැවතී එසේ නොකරන්නේ නම් ඔහුට එරෙහි ක්‍රියාමාර්ග ගන්නා බවට කරනුලැබු තර්ජනය සීලාචාර සමාජයේ පිළිකුලට භාජනය වීතිබේ.
සිය මාස 18 ක ධූර කාලය තුල අගමැතිවරයා විසින් මාධ්‍යට හා මාධ්‍යවේදීන්ට කරන ලද පළමු තර්ජනය මෙය නොවන නිසා, වර්ධනය වන මෙම තත්වය සමාජයේ ඉහළම අවදානය හා හෙළාදැකීම උචිත වේ.
යහපාලනය හා ලිච්චවී ප්රතිපත්තීන් පිළිබඳව පුන පුනා සහතික කරන ලද රාජ්‍ය පාලකයින් විසින් මෙවැනි ප්‍රාථමික වූද වගකීමෙන් සහමුලින් තොර වූද ප්රතිපත්තීන් ක්‍රියාත්මක වෙතැයි මාධ්‍යවේදීන් සිහිනෙකින් වත් අපේක්ෂා කලා යැයි සිතිය නොහැක.
මීට වසර දෙකකට පමණ පෙර ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහස වෙනුවෙන් උස් හඩින් මොරදුන් මාධ්‍ය නිදහස සඳහා වූ ආයතන වෙනුවෙන් පෙනී සිටි බටහිර තානාපති කාර්යාල මෙකී අසීලාචාර තත්වය හමුවේ මුනිවත රැකීම අදහාගත නොහැක.
බටහිරට යටත් පහත් ප්‍රතිපත්තියක් අනුගමනය කරන ආණ්ඩුවක් හමුවේ බටහිර උදාසීන ප්‍රතිපත්තිය අපට තේරුම්ගත හැකි නමුදු මාධ්‍ය නිදහසට ගරු කරන සියලු සංවිධාන පෙරමුණට පැමිණිය යුතු යැයි අපි අවධානය කර සිටින්නෙමු.
ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන්
මහාචාර්ය ජී. එල්. පීරිස්