ඉදිරි මැතිවරණයේදි දුෂිත පුද්ගලයින්ට ඡන්ද අපේක්ෂකත්වය දෙන්න එපා - මල්වතු නාහිමි
ඉදිරි මැතිවරණය සඳහා ප්‍රධාන පක්ෂ වලින් දූෂිත පුද්ගලයන් ඉදිරිපත් කළහොත් ජනතාව කිසිදු සොයා බැලීමක් නොකර ඔවුන්ට ඡන්දය ලබා දෙන බවත් එසේ හෙයින් ඒ සඳහා සුදුසු පුද්ගලයින් තෝරා ඉදිරිපත් කිරීමේ වගකීම පක්ෂ නායකයින්ට පැවරෙන බව මල්වතු පාර්ශවයේ මහානායක පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියෝ අවධාරණය කළේය.
උන්වහන්සේ එසේ අවධාරණය කර සිටියේ පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි මහතා අද (30) මල්වතු මහා විහාරයට ගොස් උන්වහන්සේ බැහැදැක මාර්තු 12 ප්රකාශනයේ පිටපතක් භාර දුන් අවස්ථාවේදීය.
එහිදී මහානායක හිමියන් වැඩිදුරටත් අවධාරණය කර සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු බොහෝදෙනෙකු සම්බන්ධව ජනතාව තුළ ප්‍රසාදයක් නොමැති බවත් වංචා දුෂණ සොර මැරකම් ඇතුලු නීතිවිරෝධී වැඩවලට සම්බන්ධවූවන්ට මෙවර මහ මැතිවරණය සඳහා අපේක්ෂකත්වය නොදීම සෑම පක්ෂයකම වගකීම බවත්ය. පාර්ලිමේන්තුව තුල මන්ත්‍රීවරුන්ගේ හැසිරීම සම්බන්ධයෙන් ජනතාව පසුගිය කාලයේ විවේචනය ඉදිරිපත් කළ බවත් දූෂිත චෝදනා එල්ල නොවූ අය ඉදිරිපත් කරන ලෙස තමන් වහන්සේ මීට පෙරද පක්ෂ නායකයින්ගෙන් ඉල්ලා සිටි නමුත් එය ඉටු නොවුණු බවත් කී මහනාහිමියෝ පවතින මැතිවරණ ක්‍රමය ද දූෂිතයන්ට පාර්ලිමේන්තු යාමට හැකි ලෙස සකස් වී ඇතැයිද අවධාරණය කළහ.
මැතිවරණ සමයේදී ජනතාව බොහෝ විට කල්පනාකරනු ලබන්නේ තමන්ට ලැබෙන්නේ කුමක්ද යන්න බවත් මේ නිසා අපේක්ෂකයන්ට මැතිවරණ සමයේ ඇති තරම් මුදල් වැයකර ඡන්දය ලබා ගන්නා බවත් උන්වහන්සේ අවධාරණය කළහ.
එම නිසා මුදල් නොමැති දක්ෂ අවංක පුද්ගලයන්ට පාර්ලිමේන්තු යාම සිහිනයක් පමණක් වී තිබෙන බවද මල්වතු නාහිමියෝ පැවසුහ.
එහිදී පැෆරල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා අවධාරණය කර සිටියේ පසුගිය මැතිවරණයකදී ගම්පහ දිස්ත්‍රික්කයේ අපේක්ෂකයෙකු මැතිවරණ සමයේ මංකොල්ලකෑමේ සිද්ධියක ප්‍රධාන සැකකරුවකු වූ බවත් ඔහු රක්ෂිත බන්ධනාගාරගතව සිටියදී වැඩිම මනාප සංඛ්‍යාවකින් පළාත් සභාවට තේරී පත් වූ බවත් කී රෝහණ හෙට්ටිආරච්චි මහතා පක්ෂ වලින් ඉදිරිපත් කරන අපේක්ෂකයන්ට ජනතාව කිසිදු සොයා බැලීමකින් තොරව ඡන්දය පාවිච්චි කරන බවද පැවසීය.
බොහෝ විට පක්ෂ උත්සාහ කරන්නේ සල්ලි වියදම් කරන පුද්ගලයන් ජනප්‍රිය පුද්ගලයින්ට අපේක්ෂකත්වය ලබා දීමට බවත් ඒ ඒ හේතුවෙන් දක්ෂ අවංක වැඩක් කළ හැකි අයට ලැබෙන අවස්ථාව ඉතා සීමිත වන බවත් පැවසීය. පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් 225 දෙනාම දූෂිත අය නොවන බවත් ඔවුන් අතර ඉතා දක්ෂ අවංක පුද්ගලයින්ද සිටින බවද හෙට්ටිආරච්චි මහතා අවධාරණය කර සිටියේය.
මැතිවරණ සමයේ දී ඒ ඒ පක්ෂවලින් ඉදිරිපත් කරනු ලබන අපේක්ෂකයන් සම්බන්ධයෙන් ලකුණු ලබාදීමේ සටහනක් ඡන්දදායකයින් අතරට පත් කරන බවත් තමන් ඡන්දය ලබා දෙන පුද්ගලයාට ඒ කරුණු අනුව ලකුණු කියක් හිමි ද යන්න ජනතාවට තීරණය කළ හැකි බවත් ඒ මහතා පැවසීය.

popular news
-
Don Friday, 31 January 2020 08:32 AM
විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ මිරිස් කුඩු වලින්, පුටුවලින් පොලිසියට ගහපු අයටත් , හුරේ දාල තප්පු ගහපු අයටත්, මයික්‍රොෆෝන් කඩපු අයටත් අපේක්ෂකත්වය දෙන්න එපා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

