මීනී මැරුම’ ලොකුම වරද වශයෙන් නීතී පොතේ සඳහන්ව තිබුණත් මිනීමැරුම් සිද්ධියකදී එක් පුද්ගලයකු හෝ දෙදෙනෙකු මරණයට පත් වුවත් හෙරොයින් ජාවාරම හේතුවෙන් පවුල් පිටින් විනාශයට පත්වන හෙයින් කුඩු ජාවාරම්කරුවකුට උපරිම දඩුවම් නියම කළ යුතු බව කුඩු ජාවාරම්කිරීමේ චෝදනාවට වරදකරු වු ‘කුඩු තිලාන්’ නමැත්තාට මරණ දඩුවම නියම කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කලුආරච්චි මහතා අද (18) පැවසීය.
කුඩු ජාවාරම නිසා ලංකාවේ පවුල් දස දහස් ගණනක් මේ වන විටත් විනාශ වී ඇති බවත් මත්ලෝලීන් මෙන්ම ඔවුන්ගේ යැපෙන්නන් වශයෙන් සිටින ලක්ෂ ගණනක් අනාථ වී ඇති හෙයින් මත්කුඩු ජාවාරමේ යෙදෙන්නන් හා ඊට සම්බන්ධවීමේ අදහසින් සිටින පුද්ගලයින් භීතීයට පත්වන අන්දමින් මෙම විත්තිකරුට දඩුවම් නියම කරන්නැයි ඉල්ලා සිටි පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නිතීඥ ලක්මිණි ගිරිහාගම මහත්මිය හෙරොයින් ව්‍යසනයෙන් රට බේරා ගැනීමේ වගකීමක් අධිකරණයටද ඇති බව පෙන්වා දුන්නාය.
මීට වසර 06 කට ඉහතදී කුඩු ග්‍රෑම් 300 කට අධික ප්‍රමාණයක් ළඟ තබාගෙන ජාවාරම් කරමින් සිටියදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් පරීක්ෂක උදාර චතුරංග මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගන්නා ලද දේවගේ තුසිත චාමර හෙවත් කුඩු තිලාන් නමැත්තා කුඩු ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරුවීම නිසා මෙලෙස දඩුවම් නියම විය.
2014 ජුනි මස 20 වැනිදා හෝ ඊට ආසන්න දිනයක බත්තරමුල්ලේදී හෙරොයින් ග්‍රෑම් 274.68 ක් ළඟ තබාගෙන ජාවාරම් කළ බවට විත්තිකරුට එරෙහිව නිතීපතිවරයා විසින් චෝදනා නඟා තිබිණි.
මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් පරීක්ෂක උදාර චතුරංග මහතාට ලැබුණු තොරතුරකට අනුව කුඩු තිලාන් නමැත්තා පදිංචිව සිටි මාලඹේ මුත්තේට්ටුගොඩ පාරේ නිවසක් සෝදිසි කිරීමේදී එහි තිබී හෙරොයින් ග්‍රෑම් 500.06 ක් සොයා ගෙන ඇති බවත් එම හෙරොයින් තොගය සමඟ විත්තිකරුද අත්අඩංගුවට ගෙන ඇති බවත් හෙළි විය.
අදාළ හෙරොයින් තොගය පරීක්ෂාවට ලක් කළ රජයේ රස පරීක්ෂවරයා එහි ශූද්ධ හෙරොයින් ග්‍රෑම් 274.68 ක් ඇති බව දැනුම් දී ඇතැයි නඩු විභාගයේදී හෙළි විය.
දීර්ඝ නඩු විභාගය අවසානයේදී විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී ඇතැයි තීරණය කළ විනිසුරුවරයා විත්තිකරුට එරෙහි හෙරොයින් ළඟ තබාගැනීමේ හා ජාවාරම් කිරීමේ චෝදනා දෙකටම ඔහු වරදකරු බවට තීරණය කළේය.
මේ අවස්ථාවේදී අධිකරණය ඇමතූ රජයේ ජ්‍යෙෂ්ඨ නිතීඥ ලක්මිණි ගිරිහාගම මහත්මිය කුඩු ජාවාරම නිසා ලංකාවේ පවුල් දස දහස් ගණනක් මේ වන විටත් විනාශ වී ඇති බවත් මත්ලෝලීන් මෙන්ම ඔවුන්ගේ යැපෙන්නන් වශයෙන් සිටින ලක්ෂ ගණනක් අනාථ වී ඇති බවත් පෙන්වා දුන්නාය.
