හෙද ක්ෂේත්රයේ ලොව ඉහළම සම්මානය මහාචාර්ය සුදත් වර්ණකුලසූරියට
හෙද ක්ෂේත්රයේ ජාත්‍යන්තර මට්ටමින් පිරිනමනු ලබන ඉහළම ගෝලීය ඇගයීමක් වන ‘ප්‍රින්සස් ශ්රීනගරින්ද්ර සම්මානය - 2026’ (The Princess Srinagarindra Award 2026) ශ්‍රී ලාංකික මහාචාර්ය වෛද්‍ය සුදත් ෂර්ලි පත්මසිරි වර්ණකුලසූරිය මහතා හට මෙවර පිරිනමා ඇත.
සම්මාන ලාභී මහාචාර්ය වෛද්‍ය සුදත් ෂර්ලි පත්මසිරි වර්ණකුලසූරිය මහතා පසුගියදා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා නිල වශයෙන් හමු වී ඒ පිළිබඳ දැනුවත් කරන ලදි.
සෞඛ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්වුණු මෙම හමුවේදී අමාත්‍යවරයා විසින් මහාචාර්යවරයා ලැබූ මෙම විශිෂ්ට ජාත්‍යන්තර ජයග්‍රහණය වෙනුවෙන් රජයේ සහ සමස්ත ශ්‍රී ලාංකික ජනතාවගේ උණුසුම් සුබපැතුම් එක් කරන ලදී.
2026 සැප්තැම්බර් 9 වන දින තායිලන්තයේ මහා චක්රී සිරින්ධෝන් කුමරියගේ (Princess Maha Chakri Sirindhorn) ප්‍රධානත්වයෙන් රැස්වූ සම්මාන පදනම් කමිටුව විසින් මෙම තේරීම සිදු කරන ලද අතර, අදාළ නිල සම්මාන ප්රදානෝත්සවය 2026 ඔක්තෝබර් 28 වන දින තායිලන්තයේ බැංකොක් නුවර පිහිටි මහා මාලිගාවේදී (Grand Palace) ඉතා උත්කර්ෂවත් අයුරින් පවත්වා ඇත.
මෙම සහතිකය, මහාචාර්ය සුදත් වර්ණකුලසූරිය මහතා විසින් හෙද අධ්‍යාපනය නංවාලීම සඳහා දක්වන ලද දුරදක්නා නායකත්වය, සුවිශේෂී දායකත්වය මෙන්ම ගෝලීය සෞඛ්‍ය ක්ෂේත්රය උදෙසා ඉටුකළ මෙහෙවර ඇගයීමට ලක් කරමින් පිරිනමා ඇත.
මෙම ගෝලීය සම්මානය තායිලන්තයේ හිටපු භූමිබෝල් අදුල්යදේජ් රජුගේ මෑණියන් වන ශ්රීනගරින්ද්ර රාජකුමාරියගේ 100 වන ජන්ම දින සංවත්සරය නිමිත්තෙන් වසර 2000 දී ස්ථාපිත කරන ලද්දකි.
ලොව පුරා විසිරී සිටින හෙද වෘත්තිකයන් අතරින් වසරකට එක් අයෙකුට හෝ කණ්ඩායමකට පමණක් හිමිවන මෙම අතිශය සීමිත සහ කීර්තිමත් සහතිකය සඳහා මෙවර අත්සන් තබා ඇත්තේ පදනමේ සභාපතිනි, තායිලන්තයේ මහා චක්රී සිරින්ධෝන් රාජකුමාරියයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

