හම්බන්තොට වරායෙන් රු. කෝටි 12 ක වරිපනම් බදු පැහැර හැරීමක්
චීන සමාගමක් යටතේ ක්‍රියාත්මක වන හම්බන්තොට ජාත්‍යන්තර වරාය පුද්ගලික සමාගම (HIPG) විසින් හම්බන්තොට මහා නගර සභාව වෙත ගෙවිය යුතු රුපියල් දොළොස් කෝටි පනස් ලක්ෂයකට අධික වරිපනම් බදු මුදලක් පැහැර හැර ඇති බව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත (RTI) යටතේ කරන ලද නිල විමසීමකදී අනාවරණය වී ඇත. මේ සම්බන්ධයෙන් හම්බන්තොට මහා නගර සභාවේ සභා වාරයකදී නගරාධිපති ඩී. ඒ. ගාමිණී මහතා විසින් ද මීට පෙර කරුණු අනාවරණය කර තිබේ.
මේ සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම යටතේ හම්බන්තොට මහා නගර සභාවේ තොරතුරු නිලධාරියාගෙන් ලබාගත් නිල ලේඛනවලට අනුව, කොට්ඨාශ අංක 13, වරාය පාර, වරිපනම් අංක 165 දරන හම්බන්තොට ජාත්‍යන්තර වරාය දේපලට අදාළව රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව විසින් 2025 අප්‍රේල් 08 වන දින විශේෂ තක්සේරු වාර්තාවක් නිකුත් කර ඇත. එම වාර්තාවට අනුව 2025 දෙසැම්බර් 31 දිනට වරෙන්තු ගාස්තු සහ දඩ පොලී ද ඇතුළුව වරාය දේපලෙන් අයවිය යුතු මුළු හිඟ මුදල රුපියල් 125,938,793.50 ක් (එනම් රුපියල් දොළොස් කෝටි පනස් නව ලක්ෂයකට අධික මුදලක්) ලෙස සටහන්ව තිබේ.
මෙම හිඟ බදු මුදල් අය කරගැනීම වෙනුවෙන් මහා නගර සභා ආඥා පනත ප්‍රකාරව දේපල තහනම් කිරීම සඳහා වරාය කළමනාකාරිත්වය වෙත 2026 මැයි 05 වන දින නගර සභාව විසින් රතු නිවේදනයක් (Red Notice) නිකුත් කර ඇත. එම රතු නිවේදනය නිකුත් කර ඇත්තේ නිකුත් කළ දිනට ත්රෛමාස දෙකකට ඉහත හිඟ මුදලක් වූ රුපියල් 85,292,529.00 ක (කෝටි අටහමාරකට අධික) මුදලක් වෙනුවෙනි.
මීට පෙර නගර සභා රැස්වීමේදී රුපියල් කෝටි 25 කට අධික හිඟ බදු සහ කෝටි 14 ක රතු නිවේදන පිළිබඳව කතාබහක් ඇති වුවද, නගර සභාව ලිඛිතව තහවුරු කර ඇත්තේ මේ වන විට කෝටි 25 ඉක්මවන හිඟ මුදලක් නොමැති බවයි. නගර සභාවේ මෙම දැඩි පරිපාලනමය ක්‍රියාමාර්ග මධ්‍යයේ, වරාය සමාගම විසින් 2026 ජූනි 30 වන දින හිඟ බදු මුදලින් රුපියල් මිලියන දෙකක (රු. 2,000,000) සුළු මුදලක් පමණක් ගෙවීමට පියවර ගෙන ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
