බිරිඳ හා සැමියා එක්ව කොල්ලකන ලද ත්‍රි රෝද රථයක් අදාළ සැකකරු හා සැකකාරිය සමග අත්අඩංගුවට ගැනීමට හෝමාගම මූලස්ථාන පොලීසිය සමත්ව තිබේ.
මීට දින කිහිපයකට ඉහතදී මෙම කොල්ලකෑම සිදුකර ඇති අතර එහිදී සැකකාර බිරිඳ විසින් ත්‍රි රෝද රථයේ හිමිකරුට මිරිස්කුඩු ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසු ත්‍රි රෝද රථය කොල්ල කා තිබේ.
හෝමාගම මහින්ද රාජපක්ෂ විදුහල අසළදි මෙම කොල්ලකෑම සිදුවීමෙන් අනතුරුව හෝමාගම මූලස්ථාන පොලීසිය අදාළ සිදුවීම පිළිබඳව විමර්ශන ආරම්භ කර තිබුණි.
මේ අනුව ත්‍රි රෝද රථය පිළිබඳව හෝමාගම මූලස්ථාන පොලීසිය අවධානය යොමුකර පරීක්ෂණ ආරම්භ කිරීමෙන් අනතුරුව ගොඩගම ප්‍ර දේශයේදී ත්‍රි රෝද රථය පොලිස් නිලධාරීන්ගේ නෙත ගැටි තිබේ.
පසුව පොලිසිය ත්‍රි රෝද රථයට නවත්වන ලෙස අණ කර ඇතත් එය නොනවත්වා ධාවනය කර තිබේ. පොලීසියද කිලෝමීටර් 15ක පමණ දුරක් ලුහුබැඳ ගොස් ත්‍රි රෝද රථයට වෙඩි තබා තිබේ.
අනතුරුව ත්‍රි රෝද රථය හා සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු හා සැකකාරිය 24 වැනි වියේ පසුවෙයි.දරුවා ආරක්ෂාව සඳහා පොලිස් භාරයට ගෙන තිබේ.
සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදි සොර ගන්නා ලදැයි පැවැසෙන රූපවාහිනී යන්ත්‍රයක්, ජල මෝටරයක්, ලැප්ටොප් පරිගණකයක් ඇතුළු භාණ්ඩ කිහිපයක්ද පොලිස් භාරයට ගෙන තිබේ. එසේම සැකකරු මාල කැඩීමේ සිදුවීම් කිහිපයකට සම්බන්ධ බවද පොලීසිය පවසයි.
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව හඳුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා රිමාන්ඩ් ගත කර තිබේ.
හෝමාගම මූලස්ථාන පොලීසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රේමලාල් මහතාගේ උපදෙස් පරිදි, ප්‍රධාන පොලිස් පරීක්ෂක කත්‍රිආරච්චි, ප්‍රධාන පොලිස් පරීක්ෂක කාරියවසම්, පොලිස් කොස්තාපල්වරුන් වන බණ්ඩාර, රොෂාන්, රණසිංහ මෙන්ම කාන්තා පොලිස් කොස්තාපල් දිනුෂිකා යන අය මෙම විමර්ශනවලට එක්ව තිබුණි.
