සිසු සිසුවියන් නැති ගුරුවරියක් හා අනධ්‍යන සේවිකාවක් පමණක් සිටින පාසලක්
මොනරාගල අධ්‍යාපන කලාපයට අයත් බඩල්කුඹුර අධ්‍යාපන කොට්ඨාසයේ පිහිටි ඇත්පට්ටිය කනිෂ්ට විද්‍යාලය මේ වන විට ගුරුවරියකට සහ අනධ්‍යයන කාර්ය මණ්ඩල සේවිකාවකට පමණක් සීමා වී ඇත.එම පාසලට සිසු සිසුවියන් කිසිවෙකු නොමැත.සිටි එකම සිසුවාද පාසලෙන් ඉවත් කර ගෙන ඇත.
1948 වර්ෂයේදී ආරම්භ කරන ලද මෙම පාසල ශිෂ්‍ය ශිෂ්‍යාවන් හැත්තෑ දෙනෙකුගෙන් පමණ සමන්විත විය.කාලයාගේ ඇවෑමෙන් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සංඛ්‍යාව දෙසියය දක්වා වර්ධනයවී සාර්ථකව පවත්වාගෙන යන ලදි.ගුරු මණ්ඩලය ඒ වන විට දහසය දක්වා ඉහළ ගොස් තිබිණි.එක් පන්ති කාමර ගොඩනැඟිල්ලකින් ආරම්භ වූ මෙම පාසලට 1954 වර්ෂයේදී විදුහල්පති නිල නිවාසයක්ද ඉඳිකර ඇත.
මෙම පාසලේ එකේ සිට නවය වසර දක්වා පන්ති පැවැත්වෙයි.පසුකාලීන තවත් පන්ති කාමර ගොඩනැඟිල්ලක් ලැබී තිබේ.මෙම පාසලට රිටිගහදූව,පබල,කරගස්ආර,ඇත්පට්ටිය යන ගම්මාන වලින් දරු දැරියන් පැමිණ ඇත.මෙම පාසලේ ඉගෙනුම ලැබූ බොහෝ දරුවන් රජයේ ඉහළ තනතුරු දරමින් විවිධ රැකියා වල නිරතව සිටිති.විද්‍යාලයේ වත්මන් තත්වය පිළිබඳව කරුණු පැහැදිලි කළ එම විද්‍යාලයේ විශ්‍රාමික විදුහල්පති මල්ලිකා රත්නායක මහත්මිය මෙසේ පැවසුවාය.
"මම 2018 වර්ෂයේදී මෙම පාසලේ විදුහල්පතිවරිය ලෙස පත්වුණා. 2023 වසරේ මාරුවීමක් ලබා පාසලෙන් ඉවත්ව 2024 වර්ෂයේ නැවත පාසලට පැමිණියා.පාසලේ ළමුන් සංඛ්‍යාව තිදෙනෙකුට සීමා වුණා.2026 වසර වන විට පාසල එක ළමයෙකුට සීමා වුණා.එම ළමයාද පාසලෙන් ඉවත් කරගෙන ගියා.2026 වර්ෂයේ ජනවාරි 08 වෙනි දින මම විශ්‍රාම යන විට පාසලේ සිටියේ ගුරුවරියක් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩල සේවිකාවක් පමණයි.
ගුරුවරියට පාසල භාරදී මම විශ්‍රාම ගියා.මෙම පාසලේ දැනට කිසිම දරුවෙකු නැහැ.අවශ්‍ය ගොඩනැඟිලි සහ සනීපාරක්ෂක පහසුකම් නියමිත පරිදි තිබෙනවා.විදුහල්පති නිල නිවාසයද සුළු අලුත්වැඩියාවකින් පසුව පරිහරණයට ගත හැකියි.මෙම තත්වයට විදුහල පත්වීම පිළිබඳව මම අතිශයින් කණගාටු වෙනවා.ගුරු හිඟය,පාසලේ දරුවන් අඩුවීමට ප්‍රධාන හේතුවයි.තවද ප්‍රදේශයේ මහා මාර්ග හොඳ තත්වයේ පවතින නිසා සෑම පවුලකටම අඩුම වශයෙන් යතුරුපැදියක්වත් තිබෙනවා.එම නිසා දරුවන් පාසලෙන් අස් කරගෙන නගරබද පාසල් වලට ඇතුළත් කරගෙන තිබෙනවා.ප්‍රදේශයේ උපත් සංඛ්‍යාව අනුව පාසල නැවත පටන් ගන්නේ නම් සිසුවෙකු ඇතුලත් කර ගැනීමට සිදුවන්නේ 2030 වර්ෂයේදීයි.
මේ පිළිබඳව අදහස් දැක්වූ බඩල්කුඹුර කොට්ඨාස සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂක අජිත් ලියනපතිරණ මහතා,
"ඇත්පට්ටිය කනිෂ්ඨ විද්‍යාලය වසා දමා නැහැ. ළමයින් නොමැතිවීම තමයි ප්රශ්නය.ඉදිරි වර්ෂ වලදීවත් ළමයින් ඇතුලත් කරගෙන පාසලේ අධ්‍යයන කටයුතු පවත්වාගෙන යාමට කටයුතු කරනවා.දැනට පාසලේ ගුරුවරියක් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩල සේවිකාවක් සිටිනවා.ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යංශය සමඟ සාකච්ඡා කොට ඉදිරියේදී කිසියම් හෝ පියවරක් ගැනීමට කටයුතු කරනවා."
මොනරාගල සුමනසිරි ගුණතිලක


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

