ස්වදේශීය කර්මාන්තකරුවා බලගැන්වීමේ අවදිය මෙතැන් සිට ඇරඹෙන බව කර්මාන්ත කැබිනට් අමාත්‍ය විමල් විරවංශ පවසයි.
කර්මාන්ත කැබිනට් අමාත්‍ය ධුරයෙහි වැඩ භාරගනිමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
ස්වදේශීය කර්මාන්තකරුවා බලගන්වමින් ඔවුනට හිතකර වෙළෙඳපොළ පරිසරයක් නිර්මාණය කර දීමටත් පසුගිය ආණ්ඩු යටතේ වසා දමන ලද කර්මාන්ත යළි අරඹමින් ඊට අදාළව ගත යුතු තීරණ ගැනීමටත් ජනාධිපතිතුමන් තමන්ට පවරා ඇති බලතල ප්‍රකාරව කටයුතු කිරීම අදින් අරඹන බව කර්මාන්ත කැබිනට් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා ,
“මේ උදා වී ඇත්තේ රටේ පොදු ජනතාව ඉමහත් බලාපොරොත්තු හා අපේක්ෂාවන් ඇතිව තුනෙන් දෙකක ජනවරමක් සහිතව ආණ්ඩුවක් පවත්වාගෙන යන්න අවස්ථාව සලසා දීලා තියෙන විරල අවස්ථාවක්. ඒ විරල අවස්ථාව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන්ට ඉතා විශ්වාසයකින් යුතුව ලබා දීලා තියෙනවා. ඒ ඉමහත් විශ්වාසයෙන් හා බලාපොරොත්තුවෙන් ගොඩනැගුණු ආණ්ඩුවේ කර්මාන්ත විෂය භාර කැබිනට් අමාත්‍යවරයා විදියට වැඩ භාර ගන්න ලැබීම ඉතාම වැදගත් කටයුත්තක්. ඒකට හේතුව මේ රටේ දේශීය කර්මාන්ත, දේශීය කර්මාන්තකරුවා වගේම ව්‍යවසායකයා පණ ගැන්වීමේ, බලගැන්වීමේ අවශ්‍යතාවයයි. එය දීර්ඝ කාලයක් තිස්සේ තිබුණා.
ඒ බලගැන්වීම සඳහා වූ ප්‍රතිපත්තිමය පසුබිම අද හැදිලා තියෙනවා. සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ තියෙන්නේ දේශීය කර්මාන්තකරුවා සහ දේශීය ව්‍යවසායකයා බලගැන්වීමේ අවශ්‍යතාවයයි. මේ රටේ නිපදවන්න පුළුවන් සියලු දේම මේ රට තුළ නිපදවීම සහ පරිභෝජනයට ඉඩ සැලැස්වීම කළ යුතු වෙනවා. ඒ ප්‍රතිපත්තිය මත පිහිටලා අපේ රටේ ස්වදේශික කර්මාන්තකරුවාගේ අභිමානවත් අවදිය නිර්මාණය කිරීම සඳහා අපි ඇප කැප වෙනවා. මේ රටේ ස්වදේශීය කර්මාන්තකරුවන් සිංහල, දෙමළ මුස්ලිම් විය හැකියි. ඒ ඕනෑම ස්වදේශීය කර්මාන්තකරුවකු බලගන්වන්නත්, පසුගිය ආණ්ඩු යටතේ වසා දමන ලද කර්මාන්ත නැවත ගොඩනගන්නත්, ඒ වගේම ස්වදේශික කර්මාන්තකරුවාට හිතකර වෙළඳපොළ පරිසරයක් නිර්මාණය කරදෙන්නත්, ඊට අදාළව ගතයුතු තීරණ ගැනීමටත්, ජනාධිපතිතුමන් පවරපු බලතල අනුව සියලු කටයුතු කරන්න සූදානමින් ඉන්නවා. ස්වදේශික කර්මාන්තකරුවනි, මේ ඔබේ අවදිය. නව හැගීමකින්, නව උද්යෝගයකින්, නව සිතුවිලි සහිතව අපත් සමග එකතු වෙන්න. ස්වදේශීය කර්මාන්තකරුවා බලගැන්වීමේ අවදිය මෙතැන් සිට ආරම්භ වෙනවා.”
