ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට සූදානම් කළ කිසිදු සංචාරක සැලසුමක් (Tour Of Plan ) නොමැතිව , සංචාරක වීසා මත ශ්‍රී ලංකාවට පැමිණීමට උත්සාහ කළ පලස්තීන ජාතිකයෙකු ඊයේ (25) දින කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ආපසු පිටුවහල් කර තිබේ .
මොහු 45 හැවිරිදි පලස්තීන ජාතිකයෙකි .
ඔහු ඊයේ දින අලුයම 12.30 ට මැලේසියාවේ සිට පැමිණි මලින්දෝ ගුවන් සේවයේ ඕ.ඩී.- 185 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
සිය ආගමන කටයුතු නිෂ්කාශනය කිරීම සදහා ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ ආගමන කවුළුව වෙත මෙම පලස්තීන ජාතිකයා පැමිණි අවස්ථාවේ , එහි රාජකාරීයේ නියැලී සිටි ආගමන නිලධාරීවරිය , ඔහු ඉදිරිපත් කළ සංචාරක විසා වට අනුමැතිය ලබා දීමට පෙර , ඔහු පිළිබඳව මතු වූ සැකය මත ,
ඔහු ශ්‍රී ලංකාවට පැමිණීමේ කාරණාව කුමක්දැයි ඔහුගෙන් විමසා තිබේ .
ඒ අවස්ථාවේ දී එම පලස්තීන ජාතිකයා මාස 03 ක කාලයක් ශ්‍රී ලංකාවේ ගත කිරීමට අපේක්ෂා කරන බව පැවසුවද , ඒ සදහා ප්‍රමාණවත් මුදලක් මෙන්ම එම සංචාරය සදහා නිසි සංචාරක සැලැස්මක් ද නොමැති බව අනාවරණය විය .
වැඩිදුරටත් සිදු කළ ප්‍රශ්න කිරීම් වලදී , මොහු ශ්‍රී ලංකාවේ රැඳි සිටිමින් ව්‍යාපාරික කටයුතු සිදු කිරීම මොහුගේ අරමුණ බව පැහැදිලි විය .
එසේම තවදුරටත් ඔහුගේ ගමන් මලු ආදිය පරීක්ෂා කිරීමේ දී , ඔහුට ආපසු පිටත්ව යෑම සදහා අවශ්‍ය ගුවන් ප්‍රවේශ පත්‍රය ද නොමැති බව හෙළි වූ බැවින් , මෙම පලස්තීන ජාතිකයා පැමිණි ගුවන් යානයෙන්ම ආපසු මැලේසියාව වෙත පිටුවහල් කිරීමට ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීහු පියවර ගෙන තිබේ .
කටුනායක - ටි.කේ.පි කපිල
