සජිත් ආවොත් අපිත් එනවැයි පැවසු සියලු දෙනාත් එක් කර ගෙන මෙවර ජනපතිවරණය විශිෂ්ට ලෙස දිනන බව තැපැල් හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම් එච්.ඒ හලීම් මහතා පැවසීය.
ඒ මහතා එම අදහස් ප්‍රකාශ කළේ අද (06) වනදා පැවැති හාරිස්පත්තුව එක්සත් ජාතික පක්ෂ බලමණ්ඩල රැස්වීම අමතමිනි.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ හලීම් මහතා ,
“පසුගිය දිනවල සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපති ධූර අපේක්ෂකත්වය ලබා දෙන්න ටිකක් ප්‍රමාද වෙන කොට සමහර අය කිව්වා සජිත් ආවොත් අපිත් එනවා නැත්නම් බෑ කියලා . තවත් සමහර අය කිව්වා සජිත් ආවොත් වෙනත් පක්ෂවල අයත් විශාල පිරිසක් එනවා කියලා. ඒ සියලුදෙනාත් ඒකරාශි කර ගෙන මෙවර ජනාධිපතිවරණය විශිෂ්ට ලෙස ජය ගන්නවා
සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකා ලෙස පත් කර ගන්නට අපට ටික කාලයක් ගියා ඒකට හේතු තියෙනවා. එක්සත් ජාතික පක්ෂය කියන්නේ මේ රටේ තියෙන විශාලතම ප්රජාතාන්ත්රවාදී පක්ෂයයි. ඒ නිසා සියලු දෙනාගේ අදහස් ලබා ගන්න අවශ්‍ය වෙනවා. සමහර පක්ෂ මෙන් ඕනම තීරණයකට එහෙයි කියන පිරිසක් එක්සත් ජාතික පක්ෂය තුළ නෑ.
අපි යම් තීරණයක් ගැනීමේදී ප්රජාතන්ත්රවාදය අනුව අපේ විවිධ මත එකට ගැටිලා ඒකෙන් හොඳ තීන්දුවක් තමයි අපි ලබා ගන්නේ. ඒ අනුව මන්ත්‍රීවරුන්ගේ වැඩි මතය තිබුණේ සජිත් ප්‍රේමදාස මහතා පත් විය යුතුයි කියලයි . නමුත් නායකතුමාගේ පැත්ත වෙනස් එකක්. සාමාන්‍යයෙන් ජනාධිපතිවරණයකදී පක්ෂයේ නායකයා ඉදිරිපත් නොවන අවස්ථාවක, පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් විශාල පිරිසක් ඉන්නවා. ඒ වගේම අපත් එක්ක එකතු වෙලා ඉන්න වෙනත් පක්ෂ රැසක් තිබෙනවා. ඒ වගේ මත ගැනත් විමසන්න ඕන .ඒ සියල්ල විමසලයි නායකතුමා සුදුසු වේලාවට සුදුසු තිරණයක් ලබා දීල තියෙන්නේ” යැයිද අමාත්‍යවරයා මෙහිදී කීය.
