කොවිඩ් වසංගතයෙන් පසු පාසල් සහ අධ්‍යාපන ආයතන සූදානම් කිරීම පිළිබද 2020/05/11 දිනැතිව නිකුත් කරන ලද චක්‍රලේඛයට අනූව ජුනි මස 29 වනදා පළමු අදියර ලෙස සියලුම පාසල් විවෘත කිරීමට සූදානම් බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් එන්. එච්. එම්. චිත්‍රානන්ද මහතා පවසයි.
ලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේ අද (26) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී සාකච්ඡාවකට සහභාගී වෙමින්ය.
පාසල් යළි ඇරඹීම අදියර කිහිපයක් යටතේ සිදු කරන අතර ඉන් පළමු අදියර ලෙස ජූනි 29 වනදා විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ අනධ්‍යයන කාර්යය මණ්ඩල වෙනුවෙන් සියලුම පාසල් විවෘත කිරීමට අපේක්ෂිතයි. පාසල් නැවත ආරම්භ කිරීමේදී අනුගමනය කිරීමට බලාපොරොත්තු වන සෞඛ්යාරක්ෂිත ක්‍රමවේද පිළිබදව මෙහිදී ලේකම්වරයාගෙන් විමසූ විට ඔහු පැවසුවේ සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා ලබාදුන් චක්‍රලේඛය සහ මාර්ගෝපදේශයට අනූව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවත්, එම මාර්ගෝපදේශය මේ වන විට දිවයිනේ සෑම පාසලකටම ලබාදී ඇති බවයි.
එමෙන්ම 29 වනදා පාසල් ඇරඹෙන විට සෑම පාසලක්ම සුරක්ෂිත ස්ථානයක් බවට පත්වී ඇතිද යන්න නිරීක්ෂණයට හෙට සිට සතියක කාලයක් තමා අධ්‍යාපන අමාත්‍යවරයාද සමග පාසල් අධීක්ෂණයට සහභාගී වන බව ලේකම්වරයා පැවසුවේය. තවද පාසල් ආරම්භ කරන දින වකවානු පිළිබදව සහ පාසල් ඇරඹීමට සූදානම් විය යුත්තේ කෙසේද යන්න පිළිබදව මීට පෙර පළාත් 9ටම ගොස් එහි විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ අනධ්‍යයන කාර්යය මණ්ඩලය සමග සාකච්ඡා කරමින් ඔවුන් දැනුවත් කළ බව ලේකම්වරයා වැඩිදුරටත් පැවසුවේය.
