ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් සමාගමට ඉන්ධන සැපයීම නතර කිරීමට වඩා සාකච්ඡා මාර්ගයෙන් ප්රශ්නය විසඳා ගැනීමට දැඩි උත්සාහයක් ගන්නා බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.
හෙතෙම මේ බව කියා සිටියේ වේයන්ගොඩ, දඩගමුව පුරාණ රාජමහා විහාරස්ථානයේ පැවැති ආගමික උත්සවයකට ඊයේ(02දා)සහභාගි වීමෙන් පසුව මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමිනි.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලබන බදාදා සිට ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් සමාගමට ඉන්ධන සැපයීම නතර කරන බවට පළ වූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් එහිදී මාධ්‍යවේදීහු ප්‍රශ්න කළහ.
ඊට පිළිතුරු අමාත්‍යවරයා පැවසුවේ එකී ප්රශ්නය ගැන මේ වනවිටත් සාකච්ඡා සිදු වෙමින් පවතින බවයි.
“ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් සමාගම විසින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට විශාල මුදලක් ගෙවීමට තියෙනවා. මේ මුදල අය කරගැනීම සඳහා අපි ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් සමාගම සමග දිගින් දිගටම සාකච්ඡා කළා. එම මුදල ගෙවීමේ ක්‍රමවේදය සඳහා ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් සමාගමත් අපි සමග එකඟ වෙලා තියෙනවා.
නමුත් එම ගෙවීම් තවමත් නිසියාකාරයෙන් සිදුව නැහැ. ඒ ගැන මේ වනවිටත් අමාත්‍යාංශ ලේකම්වරුන් සාකච්ඡා කරමින් සිටිනවා. එම සාකච්ඡා සාර්ථක වූයේ නැතිනම් මම අමාත්‍යවරුන්ගේ මට්ටමේ සාකච්ඡාවක් සිදු කරනවා. එයත් සාර්ථක වූයේ නැතිනම් කැබිනට් මණ්ඩලය දැනුවත් කර මේ අය කිරීම් සඳහා ගත හැකි පියවර ගැන සොයා බලනවා.
ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් සමාගම කියන්නේ රජයට අයත් සමාගමක්. එම සමාගම අපි ආරක්ෂා කරගන්න ඕන. පසුගිය කාලේ නම් රාජ්‍ය ආයතන අතර ප්‍රශ්න ඇති වුණාම නඩු දාගෙන ප්‍රශ්න තවත් දුරදිග ගෙනිච්චා. නමුත් අද ජනාධිපතිතුමායි, අගමැතිතුමායි තීරණය කර තිබෙන්නේ රාජ්‍ය ආයතන අතර ප්‍රශ්න තියෙනවා නම් ඒවා සාකච්ඡා මාර්ගයෙන් විසඳාගන්න.
ඒ අනුව තෙල් දීම නවත්වනවාට වඩා සාකච්ඡා මාර්ගයෙන් මේ ප්රශ්නය විසඳා ගැනීමට අපි කටයුතු කරනවා. අපි තෙල් දීම නැවැතුවොත් ඒක රටට ලොකු ප්‍රශ්නයක් වේවි. නමුත් අපට ඉදිරි කාලයේදීතීරණයක් ගන්න වෙනවා” යනුවෙන්ද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.
