මේ මාසය හා ඉදිරි මාසය තුල රුසියානු සංචාරකයන් දහසකට ආසන්න පිරිසක් මෙරටට පැමිණීමට නියමිත බව සංචාරක අමාත්‍යාංශය පවසයි. ඔක්තෝම්බර් මාසය තුල මොස්කව් සිට කොළඹට පැමිණෙන සියලුම ශ්‍රී ලංකන් ගුවන් යානා ආසන වෙන්කර ගැනීම සඳහා රුසියානු සංචාරකයන් කටයුතු කරමින් සිටි. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ වාර්තා අනුව මේ වනවිට එම ගුවන් යානා වල ආසන වෙන් කිරීම සම්පූර්ණ වෙමින් පවති.
ශ්‍රි ලංකන් ගුවන් සමාගම රුසියාවේ මොස්කව් නුවර සිට සතියකට වරක් සෘජු ගුවන් ගමනක් සිදු කරයි. ඒ අනුව ඔක්තෝම්බර් 09, ඔක්තෝම්බර් 16, ඔක්තෝම්බර් 23 හා ඔක්තෝම්බර් 30 ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ යූ.එල් 534 ගුවන් යානය මොස්කව් සිට මෙරටට පැමිණීමට නියමිත අතර මෙම ගුවන් යානා මගින් මෙරටට පැමිණීම සඳහා දහසකට ආසන්න පිරිසක් ආසන වෙන් කරගෙන තිබේ.
රුසියාව හා ශ්‍රී ලංකාව අතර ශ්‍රී ලංකන් ගුවන් සමාගම සෘජු ගුවන් ගමන් ආරම්භ කලේ පසුගිය ජූලි 31 වෙනිදායි. ඒ වසර හයකට පසුවය.
රුසියානු සංචාරකයන් වැඩිම පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ 2019 වසරේදීයි. එම වසරේ මෙරටට පැමිණි රුසියානු සංචාරකයන් සංඛ්‍යාව 86,000ක් පමණ වේ. 2020 මාර්තු මාසයේ සිට මෙරට කොවිඩ් වසංගතය හේතුවෙන් සංචරණ සීමා පැවතිය ද 2020 වසර තුලදී මෙරටට රුසියානු සංචාරකයන් 49,397ක් පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ඉදිරි මාස 02ක කාලය තුල මෙරටට රුසියානු සංචාරකයන්ගේ පැමිණීමේ විශේෂ වර්ධනයක් දක්නට ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.