වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ගුවන් හමුදා රෝහලට නව පරිපාලනයක්
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සෘජු දායකත්වය යටතේ නවීකරණය කරන ලද මාලඹේ පිහිටි 'වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු අනුස්මරණ ගුවන් හමුදා රෝහල' සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (09) නිල වශයෙන් විවෘත කෙරිණි. ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතාගේ ආරාධනයකට අනුව අමාත්‍යවරයා මෙම අවස්ථාවට එක් වූ අතර, භාවිතයට නොගන්නා සහ ඌණ-උපයෝජිත රාජ්‍ය දේපළ ජනතා යහපත උදෙසා ප්රශස්ත ලෙස යොදාගැනීමේ රජයේ වැඩපිළිවෙළට මෙම පියවර විශිෂ්ට ආදර්ශයක් බව ඒ මහතා එහිදී අවධාරණය කළේය.
ජනාධිපති සහ ආරක්ෂක අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද ඒකාබද්ධ කැබිනට් යෝජනාවකට අනුමැතිය හිමිවීමෙන් පසු මෙම නව වැඩපිළිවෙළ ක්‍රියාත්මක වේ. ඒ අනුව 2017 වසරේ සිදු වූ පවරා ගැනීමෙන් පසු වසර අටක් තිස්සේ පැවැති තාවකාලික පාලන ක්‍රමය වෙනුවට, නව දෙමුහුන් (Hybrid) මෙහෙයුම් රාමුවක් යටතේ රෝහලේ අයිතිය මහා භාණ්ඩාගාරයට 100%ක් හිමි සමාගමක් යටතට පවරා, එහි දෛනික මෙහෙයුම් වගකීම ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත පවරා දී ඇත.
ගුවන් හමුදාවේ විශේෂඥතාව, වෘත්තීය ප්රමිතීන් සහ කාර්යක්ෂම පරිපාලනය යොදාගනිමින් ගුවන් හමුදා සාමාජිකයන්ට සහ ඔවුන්ගේ පවුල්වල සමීපතමයන්ට මෙන්ම සමස්ත මහජනතාවට ද උසස් සෞඛ්‍ය සේවාවක් ලබාදීම මින් අපේක්ෂා කෙරේ. මෙහි මෙහෙයුම් කටයුතු ප්‍රධාන විධායක නිලධාරී එයාර් කොමදෝරු නීලුකා අබේසේකර මහත්මියගේ නව පරිපාලනය යටතේ ක්‍රියාත්මක වීමට නියමිතය.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට සිය සාමාජිකයින් වෙනුවෙන් විශේෂිත වූ රෝහලක අවශ්‍යතාවක් දිගු කලක පටන් පැවති අතර, මෙම නව පියවර හරහා ගුවන් හමුදාවටම සුවිශේෂී වූ රෝහලක් හිමිවීම මෙහි ඇති ප්‍රමුඛතම ජයග්‍රහණයක් බව අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය. ජනාධිපතිතුමාගේ මඟපෙන්වීම යටතේ ගත් මෙම තීරණය හරහා, ලක්ෂ 50 කට ආසන්න ජනගහනයක් වෙසෙන කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලට, විශේෂයෙන් කඩුවෙල, අතුරුගිරිය සහ අවිස්සාවේල්ල යන ප්‍රදේශවල ජනතාවට පවතින තෘතීයික මට්ටමේ සෞඛ්‍ය සේවා හිඟයට මෙම රෝහල විසඳුමක් වනු ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
සමරු ඵලකය නිරාවරණය කර රෝහල නිල වශයෙන් විවෘත කිරීමෙන් අනතුරුව, පැමිණ සිටි සම්භාවනීය අමුත්තන් රෝහල් පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවක ද නිරත වූහ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
