අනුරාධපුර පොළ සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ අනුරාධපුර පොළ භූමිය තුළ ඉදිකර, විවෘත කිරීමට ආසන්නව තිබු අංග සම්පූර්ණ කඩ කාමර 16ක් කඩා ඉවත් කරමින් තිබෙන බවත්, සිය මුදල් විනාශ කරමින් බලධාරීන් සිදුකරන මෙවැනි ක්‍රියා සම්බන්ධයෙන් දැඩි අප්‍රසාදය පළ කරන බවත් අනුරාධපුර නගරවාසීහු පවසති.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අනුරාධපුර මහ නගර සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ නාගරික මන්ත්‍රී අසේල විජේසිංහ මහතා පැවැසුවේ රුපියල් ලක්ෂ 148 කට වැඩි මුදලක් වැය කර මෙම අංග සම්පූර්ණ වෙළඳසැල් ඉදිකර ඇති බවයි.
මේ සම්බන්ධයෙන් අප අනුරාධපුර මහ නගර සභාවේ නගරාධිපති එච්.පී සෝමදාස මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා මෙසේ පැවසීය.
“අනුරාධපුර මහජන පොළ ඉදිකිරීම පසුගිය පාලන සමයේදී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ කාලයේදී ආරම්භ කෙරුණා. අනුරාධපුර පොළ නිර්මාණය සඳහා එහිදී මුදල් වෙන් කරලා තිබුණා.
ඒ සැලැස්ම ක්‍රියාත්මක වන අතර දී අපේ නැගෙනහිර ආසන සංවිධායක සේමසිංහ මහතාට ලබාදී තිබූ ප්‍රතිපාදන වලින් ලක්ෂ සීයක් පොළ ඇතුලෙ මාළු වෙළඳසැල් ඉදිකිරීමට එතුමා වෙන් කරා.
නාගරික සංවර්ධන අධිකාරියේ සැලැස්මට අනුව එම මාලු වෙලදසැල් නියමිත ප්‍රමිතියට නොතිබීම නිසා එම වෙළඳසැල් නැවත ඉවත් කර, අලුතින් ඉදිකරන්න මේ වන විට සිද්ධවෙලා තිබෙනවා. පසුගිය කාලයේදී මෙම මුදල් වෙන් කිරීම සම්බන්ධයෙන් මගේ විරෝධයක් තිබුණා. නමුත් ඒ පිළිබඳව නොසලකා හැරලා තමයි මේ දේ කළේ.
අපට අවශ්‍ය වෙලා තියෙන්නේ නගරයේදී ඉදි කරන මහජන පොළ වෙළඳුන්ට සුදුසු පරිදි නිර්මාණය කිරීමයි. ඒ සඳහා නාගරික සංවර්ධන අධිකාරියක් සමඟ සාකච්ඡා කරලා වෙළඳුන්ට සුදුසු පරිදි ඉදි කිරීමට පියවර ගෙන තිබෙනවා. එම නිසා කලින් ඉදි කරන ඉදිකරන ලද වෙළෙඳසල් භාවිතා කිරීමටත් පෙර ඉවත් කරන්න සිද්ධ වුණා.”
අනුරාධපුර චතුරංග

