මාතලේ විල්ගමුව ප්‍රදේශයේ මහවැලි ගඟ දෙපස සිදුවෙමින් පවතින වැලි මාෆියාව පිළිබඳව වසර තුනක් තිස්සේ කතා කළද ඒ පිළිබඳ වගකිවයුතු කිසිවෙකු කටයුතු නොකිරීමේ ප්‍රතිවිපාක මේ වන විට අත්විඳීමට සිදු ඇති බවත් මෙම ගැටලුවට වහා විසඳුමක් ගත යුතු යැයි පාර්ලිමේන්තු මන්ත්‍රිනී (එජාප) රෝහිණී කවිරත්න මහත්මිය පැවසුවාය.
කවිරත්න මහත්මිය එසේ ප්‍රකාශ කළේ වැලි ගොඩදැමීම හේතුවෙන් විල්ගමුව නිපොන් පාලම විනාශවීමේ අවදානම් තත්ත්වය පිළිබඳව මාතලේ දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේදී ඊයේ (19දා) අදහස් දක්වමින් මන්ත්‍රීවරිය මේ බව පවසා සිටියාය.
මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් අලුවිහාරේ යන මහත්වරුන්ගේ සම සභාපතිත්වයෙන් මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී මෙම රැස්වීම පැවැත්වුණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරිය,
“ විල්ගමුව ප්‍රදේශයේ සේවයේ නියුතු ග්‍රාම නිලධාරීන්ගේ සිට සියලුම රාජ්‍ය නිලධාරීන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ නම්වලට වැලි ගොඩදැමීමේ බලපත්‍ර තියෙනවා. ඒ වගේම අනෙක් බලපත්‍ර ටික පිට පළාත්වල අයටයි තියෙන්නේ. මොවුන් ඉවක් බවක් නැතිව බලපත්‍ර නීති උල්ලංඝනය කරමින් වැලි ගොඩ දැමීමෙන් සිදුවන හානිය පිළිබඳ කොතෙක් කතා කළත් වැඩක් වුණේ නෑ. ඒ නිසා දැන් විශාල විනාශයක් අත ළඟට ඇවිත් තියෙනවා. මේ හේතුවෙන් ළිංවල වතුර මට්ටමත් අඩු වෙලා. මේ පිළිබඳව අවධානය යොමු කර ඉදිරියේදී බලපත්‍ර ලබාදීමේදී සංවර්ධන කමිටුවේ අනුමැතියට යටත්ව කටයුතු කළ යුතුයි.” යැයි ද පවසා සිටියාය.
මාතලේ රවීන්ද්‍ර විරාජ්