විදෙස් රටවල විවිධ රැකියාවන්ට ගොස් කොවිඩ් 19 වසංගතය නිසා පීඩාවට පත්ව තම මව් රටට පැමිණිමට බලාපොරොත්තුවෙන් සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් හතලිස් දහසෙන් විසි දහසකගේ වගකීම භාර ගැනීමට තමන් සූදානම් බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික ජාතික ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක කණ්ඩායම් නායක කේ.ඩී.ලාල්කාන්ත මහතා පවසයි.
මහනුවරදී අද (12) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ ලාල්කාන්ත මහතා ,
කොවිඩ් 19 ගැන සැලකීමේදී දැන් අප හමුවේ තියෙන ප්රබලතම ප්රශ්නය තමයි විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ ප්රශ්නය. වග කිය යුතු පක්ෂයක් ජනතාවක් හැටියට විදෙස් රටවලට ගොස් රැකියාවක් කර දහදුක් විදිමින් රටට වැඩිම විදේශ විනමයක් ගෙනත් දෙන මේ පිරිස අමතක කරල ඉන්න පුළුවන් කමක් නෑ. සමහර අය ඉන්නවා කොවිඩ් හැදුන අය මේ රටට ගෙන්වා ගන්න ඕන නෑ කියන පදනමෙන්. නමුත් ඒක වැරදියි. මේවන විට ගුවන් තොටුපළ යම් කළමණාකරණයකට ලක් කර ගෙන තියෙන වෙලාවේ වහාම රජය මැදිහත් වෙලා මේ විදේශ රටවල්වල ඉන්න ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් රටට ගෙන්වා ගන්න ඕන.
මේ රටේ ජනතාවත් රජයත් අතුළු සියලු දෙනා කැපවීම් කරලා මේවන විට ලෙඩේ යම් පාලනයකට ලක් කර ගෙන තියෙනවා. ඒ වගේම මේකටම සම්බන්ධ මේ විදේශගත ශ්‍රමිකයින් ගෙන්නා ගන්න අප වහාම මැදිහත් වෙන්න ඕන. බොහෝ දෙනා ඒ රටවල්වල අපා දුක් විඳිනවා. ශ්‍රී ලංකාවට එන්න බලාපොරොත්තු වෙලා ඉන්න ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 40,000 න් අපි කියනවා 20,000 ක් භාර ගන්න අපි කැමැතියි කියලා. දෙකෙන් පංගුවක් භාර ගන්න අපි ලෑස්තියි. හැබැයි ඒක අපිට තනියම කරන්න බෑ.
අපි ලෑස්තියි ස්ථාන වෙන් කර ගන්න . ඒකට ආධාර උපකාර සොයා ගන්න මුල්‍ය පහසුකම් සොයා ගන්න. නමුත් සෞඛ්‍ය බලධාරීන් සම්බන්ධ කර නොගෙන ඒක කරන්න බෑ. ඒ සියලු සෞඛ්‍ය අංශ සම්බන්ධ කර ගෙන අපට පුළුවන් මේ අය බලාගන්න. ඒ නිසා අප රජයට කියල තියෙනවා අපි ලෑස්තියි 20,000 ක් භාර ගන්න හැබැයි අපට ගුවන් තොටුපලෙන් සෞඛ්‍ය සම්බන්ධයෙන් කරන කටයුතු කරලා ගෙනවිත් දෙන්න එතැනින් පසුව විධිමත් ක්‍රමයකට අපට භාර දීලා රජයත් උදවු කරන්න.
මේ වගේ බෑ කිව්ව දේවල් අපි මිට ඉස්සර කරල තියෙනවා. සුනාමිය ආව වෙලාවේ මුහුදුබඩ දුම්රිය මාර්ගය ඇරඹිලා කැඩිල ගිය වෙලාවේ ආණ්ඩුව කිව්වා මේක හදන්න අවුරුද්දක් යනවා කියලා. ඉන්දියාවට දෙන්න සූදානම් වුණා අවුරුද්දකට මේක හදන්න. ඒ වෙලාවේ අපි මැදිහත් වෙලා ඒක භාර ගත්තා ඒ වෙලාවේ හිටපු ෆිලික්ස් පෙරේරා ඇමතිතුමා උදවු කළා. අපේ වෘත්තිය සමිති අපි සම්බන්ධ වෙලා ප්‍රදේශයේ ජනතාවගේත් සහායෙන් අවුරුද්දක් ඕන කිව්ව දුම්රිය මාර්ගය දින 56 න් හැදුවා.පිටරටින් ඉංජිනේරුවරුන් ගෙනාවෙ නෑ. ඒ වෙනුවෙන් ඉන්දියාවට ගෙවන්න තිබුණ මුළු මුදලම අපි මේ රටට ඉතිරි කරල දුන්නා යැයිද පැවසීය.
(මොහොමඩ් ආසික්)
