විදුලිබල පනත කඩිමුඩියේ වෙනස් කිරීමට ගෙන තිබෙන තීරණයට විරෝධය දක්වමින් අද (08දා) රාත්‍රී 12.00 සිට සේවයෙන් ඉවත්වීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක් සිදුකිරීමට විදුලිබල මණ්ඩල වෘත්තිය සමිති තීරණය කර තිබේ.
පනත සංශෝධනය කර කිසිදු මිල ගණනක් කැඳවීමකින් තොරව මන්නාරම ප්‍රදේශයේ මෙගාවොට් 500ක සුළං බලාගාරයක් ඉදිකිරීමට ඉන්දියාවේ අදානි සමාගමට ලබාදීමට සැලසුම් කරමින් තිබෙන බව ලංකා විදුලිබල ඉංජිනේරු සංගමය සඳහන් කරයි.
දැනට පවතින්නේ තාවකාලික ආණ්ඩුවක් බවත්, එවැනි ආණ්ඩුවකට විදුලිබල පනත වෙනස් කිරීමට නොහැකි බවත්, එසේ තිබියදී මේ මස 09වැනිදා පනත වෙනස් කිරීමට අදාළ යෝජනාව පාර්ලිමේන්තුවේ දෙවැනි වර කියවීමට සැලසුම් කරමින් තිබෙන බවත් ලංකා විදුලිබල මණ්ඩල එකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය සඳහන් කරයි.
මේ නිසා අදාළ පනත සංශෝධනය කිරීමට ගෙන තිබෙන තීරණය අවලං‘ගු කරන තෙක් සේවයෙන් ඉවත්ව සිටීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය සිදුකරන බවද එම සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා සඳහන් කළේය.
මෙම ක්‍රියාමාර්ගය පිළිබඳ අද විදුලිබල මණ්ඩල පාලන අධිකාරිය දැනුම්වත් කර ඉංජිනෙරුවන් විසින් සිදුකරන සේවා භාරගන්නා ලෙසට ඉල්ලීමක් සිදුකරන බවද ලංකා විදුලිබල ඉංජිනේරු සංගමයේ සභාපති අනිල් රංජිත් මහතා පැවසීය.
සේවා මුර භාර ගැනීමට පිරිස් යෙදවීමට කටයුතු නොකළහොත් යන්ත්රසූත්ර ක්‍රියාවිරහිත කර හෝ සේවයෙන් ඉවත්වීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය සිදුකරන බවද ඒ මහතා පවසා සිටියේය.
යම් ලෙසකින් අද දිනය තුළදී අදාළ තීරණය වෙනස් කර ගැනීමට ආණ්ඩුව කටයුතු කළහොත් විදුලිබල මණ්ඩල ඉංජිනෙරුවන් ඇතුළු සේවකයන්ට වැඩ වර්ජනයක් සිදුකිරීමට අවශ්‍ය නොවන බවද හෙතෙම පවසා සිටියේය.
එසේම සුළං විදුලිබලාගාර කඩිනමින් ඉදිකළ යුතු බවත්, එහෙත් අදාළ ව්‍යාපෘතිවලින් විදුලිය මිලදී ගැනීමේ කටයුතු තරගකාරී ලෙස සිදුවිය යුතු බවත් පවසා සිටි ඒ මහතා, එසේ නොවුණහොත් එහි බර ජනතාව මත පැටවෙන බවද පවසා සිටියේය.
විදුලිබල පනතට අනුව බලාගාර ඉදිකිරීම ඇතුළු අනෙකුත් කටයුතු තරගකාරී මිල ගණනන් යටතේ මිලදීගත යුතු බවත්, මේ නිසා පනතේ සඳහන් මෙම වගන්ති වෙනස් කර ඍජුවම අදාළ කටයුත්ත අදානි සමාගමට ලබාදීමට සැලසුම් කර තිබෙන බවත් අනිල් රංජිත් මහතා ප්‍රකාශ කළේය.
සුළං බලාගාර තුළින් විදුලිය ලබාදීම සඳහා දේශීය ව්‍යවසායකයන් කිහිප දෙනෙකු ඉදිරිපත් වී සිටින බවත්, ඔවුන් විසින් විදුලි ඒකකයක් ඩොලර් ශත 05කට අඩුවෙන් ලබාදීමට යෝජනා කර තිබෙන බවත් පවසා සිටි හෙතෙම, එසේ තිබියදී අදානි සමාගම ඩොලර් ශත 6.5ක මුදලකට විදුලි ඒකකයක් ලබාදීමට මුලින් යෝජනා කර තිබූ බවද පවසා සිටියේය.
එහෙත් මේ වනවිට එම මුදල ඩොලර් ශත 7.55ක් දක්වා ඉහළ දමා තිබෙන බවත්, අදාළ මුදල් සියල්ලම ඩොලර් වශයෙන් ගෙවිය යුතු බවට සඳහන් කර තිබෙන බවත් අනිල් රංජිත් මහතා සඳහන් කළේය.
එහෙත් දේශීය සමාගම් විසින් විදුලි ඒකකයක් රුපියල්වලින් ලබාදීමට යෝජනා කර තිබෙන බවත්, මේ අනුව ඩොලර් විදේශ රටවලට ඇදීයාමත් නැවතී යන බවත්, යම් ලෙසකින් අදානි සමාගම තුළින් විදුලිය ලබාගැනීමට සිදු වුවහොත් වාර්ෂිකව ඩොලර් මිලියන 160ක ප්‍රමාණයක් රටට අහිමි වන බවත් ඒ මහතා පවසා සිටියේය.
මේ නිසා පනත සංශෝධනය කිරීම නවතා තරගකාරී මිල ගණන් යටතේ මිල කැඳවා සුළං බලාගාරයෙන් විදුලිය ලබාගැනීමට වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවත් සභාපතිවරයා සඳහන් කළේය.
දේශීය සමාගමක් මෙම ව්‍යාපෘතිය සිදුකර, ඉන් විදුලිය මිලදී ගැනීම සඳහා වාර්ෂිකව වැය වන්නේ ඩොලර් මිලියන 75ක් වැනි මුදලක් බවත්, අදානි සමාගම ඉදිරිපත් කර තිබෙන යෝජනාවට අනුව විදුලිය මිලදී ගැනීම සඳහා ඩොලර් මිලියන 160ක පමණ මුදලක් වියදම් වන බවත් පවසා සිටි ඒ මහතා, අදාළ ගිවිසුම් වසර 25කට අත්සන් කිරීම සැලසුම් කර තිබෙන බවද ප්‍රකාශ කළේය.
ඉන්දික හේවාවිතරණ