උතුරේ දෙමළ ජනතාවට මෙන්ම දකුණේ සිංහල ජනතාවටද නැවත වරක් යුද්ධයක් අවශ්‍ය නැති බවත් ජාතිවාදයට උඩගෙඩි ලබාදෙන විජයකලා මහේශ්වරන්ගේ ප්‍රකාශයට විරුද්ධ ගත හැකි උපරිම නීතිමය පියවර ගත යුතු බවත් විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.
විජයකලා මහේශ්වරන් පසුගියදා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් නියෝජ්‍ය ඇමැතිවරයා මේ බව පැවසුවේය.
“දැන් යුද්ධය අවසන් වෙලා තිබෙන අවස්ථාවක්. රටේ තියෙන්නේ සාමකාමී වාතාවරණයක්. බෙදුම්වාදයට උඩගෙඩි ලබාදීම දඬුවම් ලැබිය හැකි වරදක්. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව දිවුරුම් දෙන අයෙක්ට බෙදුම්වාදයට කිසිදු ආකාරයකින් සහාය ලබාදෙන්න බැහැ. එය බරපතළ වරදක්.
විජයකලා මහේෂ්වරන් කරපු ප්‍රකාශය සම්බන්ධයෙන් ගත හැකි උපරිම නීතිමය පියවර ගත යුතුයි. එල්.ටී.ටී.ඊ. සංවිධානය යළිත් හිස ඔසවනු දැකීමට කිසිදු අයෙක්ට අවශ්‍යතාවක් නෑ.
එහෙත් යුද්ධයක් අවශ්‍ය කණ්ඩායම් දෙකක් මේ රටේ ඉන්නවා. යුද්ධයක් ඇති කරගෙන ඒ හරහා දේශපාලන වාසි ලබාගන්නා කණ්ඩායම් දෙකක් සිටිනවා. ඒ තමයි උතුරේ සිටින දෙමළ අන්තවාදී ජාතිවාදී කණ්ඩායම. අනෙක් කණ්ඩායම තමයි දකුණේ සිටින අන්ත ජාතිවාදී කණ්ඩායම. මේ ජාතිවාදී කණ්ඩායම් දෙකටම යුද්ධය අවශ්‍යයි.
අද විජයකලාගේ ප්‍රකාශය දකුණේ ජාතිවාදයට පෝර දැම්මා. මේ වගේ ජාතිවාදයට උඩගෙඩි දෙන අයට විරුද්ධව නීතිය තදින්ම ක්‍රියාත්මක කළ යුතුයි. ඒ ආකාරයට කටයුතු නොකළොත් අපිට රටක් ඉදිරියට ගෙනයාමට හැකියාවක් ලැබෙන්නේ නෑ.
