පාරිභෝගික සේවා අධිකාරිය මගින් තිරිගු පිටි වැඩි මිලට අලෙවි කරනු ලබන වෙළඳසල් සහ ගබඩා වැටලීම යටතේ, එම අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් විමර්ශන ඒකකය මගින් වෙළඳුන් නව දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇත.
රජයේ අනුමැතියකින් තොරව තිරිගු පිටි ආනයනය කරනු ලබන ආයතන මගින් පිටි මිල වැඩි කොට ඇතත් එසේ කිරිමට හැකියාවක් නැති බැවින් තිරිගු පිටි කිලෝවක පාලන මිල වන රුපියල් 87 ට වඩා වැඩි මිලට අලෙවි කරනු ලබන වෙළඳුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව පාරිභෝගික සේවා අධිකාරිය පවසයි.
ගම්පහ විමර්ශන ඒකකය මගින් රාගම , වැලිසර ආර්ථික මධ්‍යස්ථානය සහ මහබාගේ යන ප්‍රදේශයන්හි සිදු කළ සෝදිසියේදී වෙළඳසල් හයක , ප්‍රධාන පිටි ආනයන ආයතනයක ප්‍රධාන බෙදාහැරිමේ ස්ථානයක සහ තොග බෙදා හැරිමේ ස්ථානයක තිරිගු පිටි තොග වැඩි මිලට අලෙවි කරමින් තිබියදී අත්අඩංගුවට ගැනීමට හැකිව තිබේ.
පාරිභෝගික සේවා අධිකාරියෙහි සභාපති ආචාර්ය ලලිත් එන් සෙනෙවිර සහ ගම්පහ දිසාපති සුනිල් ජයලත් යන මහත්වරුන්ගේ උපදෙස් මත එම අධිකාරියෙහි ගම්පහ දිස්ත්‍රික් විමර්ශන ඒකක ප්‍රධානී ප්‍රදීප් කළුතරආරච්චි මහතාගේ මෙහෙයවීම යටතේ විමර්ශන නිලධාරීන් වන වයි.එම්.එස්. යාපාරත්න, හෂාන් කළුබෝවිල, දිලීප කරුණාරත්න, ඉෂාර හෝමපොල , කේ.රවිදු, අරුණ ශාන්ත සහ එන්.නවුෆීර් යන නිලධාරීන් විසින් මෙම වැටලීම් සිදු කොට ඇත.
අත්අඩංගුවට පත් වෙළඳුන් නියම කරනු ලබන දිනකදී වත්තල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටිමට යටත්ව බැදුම්කර ඇපමත මුදාහැර තිබේ.
ගම්පහ - තිලකරත්න දිසානායක
