වාරියපොළ මලගනේ වැවේ ඔරුවක සිට අද (24දා) සවස නෙළුම් මල් කඩමින් සිටි පුද්ගලයන් පස්දෙනෙකුගෙන් දෙදෙනෙකු ඔරුව පෙරළීමෙන් අතුරුදන් වී ඇතැයි වාරියපොළ පොලීසිය පවසයි.
රාගම, බටුවත්ත ප්රදේශයේ පදිංචි අබේරත්න බණ්ඩාර (48) හා ගෝකුල හසිත ගී නද (20) මෙසේ අතුරුදන් වී සිටිති.
ඔරුව පෙරළෙන අවස්ථාවේ එහි සිටි තිදෙනෙකු දිවි බේරාගෙන ඇති අතර අතුරුදන් වූ දෙදෙනා සෙවීමේ කටයුතු ගම්වාසීන් හා පොලීසිය එක්ව ආරම්භ කර තිබේ.
රාගම සිට පැමිණි තිදෙනෙකු හා මලගනේ පදිංචිකරුවන් දෙදෙනෙකු ඔරුවෙන් ගොස් නෙළුම් මල් කඩමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බවද බටුවත්ත සිට පැමිණි එක් පුද්ගලයෙකු හා ගම්වාසීන් දෙදෙනා දිවි බේරාගෙන ඇති බව පොලීසිය පවසයි.
වාරියපොළ පොලිසිය සහ ගම්වාසීන් එක්ව අතුරුදන් වූ දෙදෙනා සෙවීමේ මෙහෙයුම් දියත් කොට තිබේ.

කුරුණෑගල - අතුළ පී. බණ්ඩාරනායක