එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයින් 99 දෙනෙකු පක්ෂයෙන් නෙරපීමට එහි කෘත්‍යාධිකාරි මණ්ඩලය ගත් තීරණය ක්‍රියාත්මක වීම වළක්වලන වාරණ නියෝගයක් නිකුත් කරන්නැයි සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා කළ ඉල්ලීම ප්රතික්ෂෙප කරමින් කොළඹ දිසා අධිකරණයේ තීන්දුව ඉවත දමන්නැයි ඉල්ලමින් එක්සත් ජාතික පක්ෂය හිටපු අමාත්‍යවරයෙකු වන රංජිත් මද්දුමබණ්ඩාර මහතා බස්නාහිර පළාත්බද සිවිල් අභියාචනා මහාධිකරණයට අද (02) අභියාචනයක් ඉදිරිපත් කළේය.
එම පෙත්සම සලකා බැලූ සම්පත් අබේකෝන් සහ මොහොමඩ් ලෆාර් යන මහත්වරුන්ගෙන් සමන්විත සිවිල් අභියාචනා මහාධිකරණ විනිසුරු මඩුල්ල මෙම අභියාචනය සලකා බැලීම සඳහා ලබන 06 වැනිදා කැඳවීමට නියම කළේය.
රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් ඉදිරිපත් කොට ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා එහි උපසභාපති රවි කරුණානායක මහතා ඇතුළු පිරිසක් නම් කොට ඇත.
පෙත්සම කැඳවනු ලැබු අවස්ථාවේදී වගඋත්තරකාර රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා මහතාද රවි කරුණානායක මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයාද අධිකරණය අමතමින් අදාළ ලේඛන තම සේවාදායකයා වෙත ලැබී තිබුණේ ඊයේ රාත්‍රීයේ බවත් මේ සම්බන්ධයෙන් ඔහුගෙන් උපදෙස් ලබාගෙන කරුණු දැක්වීම සඳහා වෙනත් දිනයක් ලබා දෙන්නැයි ඉල්ලා සිටියේය.
එහිදී රංජිත් මද්දුම බණ්ඩාර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ඉක්රම් මොහොමඩ් මහතා අධිකරණය අමතමින් මෙම නඩුවට පාදක වු කොළඹ දිසා අධිකරණයේ පැවැති නඩුවේදී වගඋත්තරකරුවන් වෙනුවෙන් කරුණු ඉදිරිපත් කළේ එම නඩුවේ 03 වගඋත්තරකරු ලෙස නම් කර සිටි එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා වෙනුවෙන් පමණක් බව පෙන්වා දුන්නේය.
ඒ අනුව රනිල් වික්‍රමසිංහ සහ රවි කරුණානායක යන මහත්වරුන්ගෙන් කරුණු විමසීම සම්බන්ධයෙන් තමන් විරුද්ධ වන බව ජනාධිපති නීතිඥ ඉක්රම් මොහොමඩ් මහතා වැඩිදුරටත් පැවසීය.
ඉදිරිපත් වු කරුණු සලකා බැලීමෙන් අනතුරුව පෙත්සම ලබන 6 වනදා කැඳවීමට නියෝග කළ සිවිල් අභියාචනා මහාධිකරණය එදින මෙම විරෝධතාව සම්බන්ධයෙන් කරුණු දක්වන්නැයි පාර්ශවයේ නීතිඥවරයාට නියම කළේය.
