තවත් වසර 06කින් සියවසක් සපිරෙන දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානයට මේ වනතෙක් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයෙකු හෝ අගමැතිවරයෙකු පා තබා නොමැති බවත්, ඒ අනුව සත්ත්වොද්යානයට පැමිණ එය නරඹා වත්මන් තත්ත්වය තේරුම් ගන්නා ලෙසත් සතුන් වත්තේ යහළුවෝ (Zoo Friends of Sri Lanka) සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටී.
ජනාධිපතිවරයා වෙත ලිඛිතව දන්වා සිටිමින් මෙම ඉල්ලීම සිදු කරන එම සංගමය අවධාරණය කර සිටිනුයේ පිළියන්දල, කහපොල ප්‍රදේශයේ නව සත්ත්වෝද්‍යානයක් පිහිටුවීම නැතහොත් දෙහිවල සත්ත්වෝද්‍යානය ඉවත් කර වෙනත් ස්ථානයකට රැගෙන යාම යෝග්‍ය නොවන බවයි.
දෙහිවල සහ කහපොල අතර දුර ප්‍රමාණය කිලෝමීටර 14ක් වන බවත්, ඒ අනුව සත්ත්වෝද්‍යාන දෙකක් එක් ප්‍රදේශයක පිහිටුවීම ජාත්‍යන්තර සත්ත්වෝද්‍යාන නීතිරීතිවලට පටහැනි වන බවත් පෙන්වා දෙන %සත්තු වත්තේ යහළුවෝ^ සංගමය, කහපොල පිහිටි ඉඩම මුඩු ඉඩමක් වන බැවින් සත්ත්වෝද්‍යානයකට කිසිසේත් නුසුදුසු වන බව සඳහන් කර සිටී.
ඒ අනුව සිය ලිපිය මගින් මේ පිළිබඳ වැඩිදුර පැහැදිලි කිරීමක නිරත එම සංගමය මෙලෙසද සඳහන් කර සිටී.
"නගරය සමග ඇති දෙහිවල සත්ත්වෝද්‍යානයට විශාල ජනතාවක් පැමිණෙන අතර, වසරකට ආදායම මිලියන 175ක් පමණ වේ. පිළියන්දල ප්‍රදේශයේ සත්ත්වෝද්‍යානය ඉදිකිරීමෙන් එයට ළඟාවීමට ඇති අපහසුතාව නිසා මෙතරම් සෙනඟක් ඇදී යෑම සහ ආදායමක් නොලැබී යනු ඇත. සත්ත්වෝද්‍යාන 02ක් එකම ප්‍රදේශයක පිහිටුවීම ජාත්‍යන්තර සත්ත්වෝද්‍යානවල නීතිරිතිවලට පටහැනි වේ. දෙහිවල සහ කහපොල අතර දුර කිලෝ මීටර 14ක් වේ.
කොළඹ ප්‍රදේශයේ පොදු ස්ථානවලින් වැඩිම ජනතාවක් පැමිණෙන දෙහිවල සත්ත්වෝද්‍යානයට මෙතෙක් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයෙකු හෝ අගමැතිවරයෙකු පා තබා නොමැත. මෙය කනගාටුවට කරුණක් වන අතර, විදේශ රටවල රජවරුන්, කුමාරවරුන්, ජනාධිපතිවරුන්, අගමැතිවරුන් සහ ආදිපාදවරුන් ගණනාවක්ම දෙහිවල සත්ත්වෝද්‍යානයට පැමිණ තිබේ.
ඔබතුමා හට අප ගෞරවයෙන් ආරාධනා කරන්නේ සත්ත්වෝද්‍යානයට පැමිණ එහි තත්ත්වය තේරුම් ගන්නා ලෙසයි"