ගතවූ වසර පහකට ආසන්න කාලය තුළ මේ රටේ අධ්‍යාපන ක්ෂේත්රයට විශාල වැඩ කොටසක් කරන්නට හැකිවීම ගැන තමා පෞද්ගලිකවම සතුටට පත් වන බවත්, එසේ කළ හැකි වූයේ අධ්‍යාපන අමාත්‍යාංශයේ සමස්ත කාර්යය මණ්ඩලය තමා වෙත ලබාදුන් නොමසුරු සහයෝගය නිසා බව අධ්‍යාපන අමාත්‍ය, නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, අද (21) සිය ධුරයෙන් සමුගැනීමට පෙර අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලය සමඟ පැවති හමුවකට එක්වෙමිනි.
සුරක්ෂා සිසු රක්ෂණ වැඩපිළිවෙල, ළඟම පාසල-හොඳම පාසල සංවර්ධන වැඩසටහන, 13 වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහන, සුබග ශිෂ්‍යත්ව වැඩසටහන ඇතුළු ජාතික සංවර්ධන වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවමින් මෙරට අධ්‍යාපන පද්ධතිය සංවර්ධනය කිරිම වෙනුවෙන් සක්‍රීය දායකත්වයක් ලබාදීමට තමන්ට හැකි වූ බවත්, මිළඟ අධ්‍යාපන අමාත්‍ය ධුරයට පැමිණෙන අමාත්‍යවරයා කවරෙකු වුවත් දරුවන්ගේ යහපත වෙනුවෙන් ගත් එම ක්‍රියාමාර්ග ඉදිරියට ගෙන යනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් අමාත්‍යවරයා මෙහිදි තවදුරටත් සඳහන් කළේය.
ජනප්‍රිය විම වෙනුවෙන් ගන්නා පටු දේශපාලන තීන්දු තීරණ වෙනුවට රටේ අධ්‍යාපනයේ ප්රගමනය වෙනුවෙන්, වසර ගණනාවක් පුරා ක්‍රියාවට නැංවිමට නොහැකිව තිබූ ගුරු මාරු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරිම, ජාතික පාසල්වලට නිපුණතා පදනම් කරගත් තරුණ විදුහල්පතිවරුන් පත්කිරිම වැනි ක්‍රියාමාර්ගවල දී බොහෝ දෙනා අමනාප වුවද, රටේ අනාගතය වෙනුවෙන් එම අභියෝග තමා භාරගත් බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
ජනාධිපතිවරයාගේ සහාය මෙන්ම පළාත් සභාවල සහාය පවා නොමැතිව පසුගිය වකවානුව තුළ අධ්‍යාපන සංවර්ධන ක්‍රියාමාර්ග ක්‍රියාවට නැංවිමට සිදු වූ බව ද සිහිපත් කළ අමාත්‍යවරයා, ඒ සඳහා ශක්තිය සහ පිටුබලය තමාට ලබාදුන්නේ තම අමාත්‍යාංශයේ සමස්ත කාර්ය මණ්ඩලය බවත්, නව අධ්‍යාපන අමාත්‍යවරයාට ද තමාට ලබාදුන් අයුරින්ම මෙරට අධ්‍යාපන පද්ධතිය සංවර්ධනය කිරිම වෙනුවෙන් උපරිම සහයෝගය ලබාදෙන ලෙස ද ඉල්ලා සිටියේ ය.
