ලෝකයේ විශාලම ගුවන් යානයක් කටුනායකට ගොඩබස්සවයි
ගුවන් මගියෙකුට හදිසියේ ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් ශ්‍රී ලංකාවට ඉහළ අහසේ ගමන් කරමින් තිබූ ලෝකයේ විශාලතම මගී ගුවන් යානා විශේෂය වන ඒ - 380 එයා බස් වර්ගයේ ගුවන් යානයක් අද (08දා) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බැස්සවීමට කටයුතු කළේය.
අබුඩාබි සිට ඕස්ට්‍රේලියාවේ, සිඩ්නි බලා ගුවන් ගනිමින් තිබූ ඊ.වයි.- 454 දරන ඉටිහැඩ් ගුවන් සේවයට අයත් මෙම ගුවන් යානය අලුයම 6.10 ට කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බස්වා තිබුණි .
මෙම ගුවන් යානයේ ගමන් ගනිමින් සිටි 29 හැවිරිදි රුමේනියානු ජාතිකයෙකුට මෙසේ හදිසි හෘදයාබාධය වැළදී තිබූ අත, ඔහු කටුනායක ගුවන් තොටුපළ වෛද්‍ය ඒකකයේ නිලධාරීන් වෙත භාර දීමෙන් අනතුරුව, ගුවන් තොටුපළ ගිලන් රථයක් මගින් වහාම මීගමුව පෞද්ගලික රෝහලක් වෙත ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබේ.
මෙම ගුවන් යානය සඳහා රුපියල් අනූ හත් ලක්ෂ හැත්තෑ හතර දහසක් (97,74,000 ) ක් වටිනා ගුවන් යානා ඉන්ධන ලීටර් එක් ලක්ෂ හත්සිය හැටක් (100,760) ක් ලබා දුන් බව කටුනායක ගුවන් තොටුපළ ඛනිජ තෙල් සංස්ථාවේ ප්‍රකාශකවරයෙකු පැවසීය. මෙම ගුවන් යානය තුළ මගීන් 443 ක් සහ කාර්යය මණ්ඩලය 21 ක් සිටියහ.
ටී.කේ.ජී. කපිල

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

