ලංකා විදුලි බල මණ්ඩලයට විදුලි කප්පාදුවක් නොමැතිව යා හැකි බවත් විදුලි කප්පාදුවක් කරන්නේ නම් ඒ බව ජනතාව දැනුවත් කරන බවත් අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පැවැසීය. ඔහු මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද දින (10දා) පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
“අද පුවත්පත් ගණනාවක තිබෙනවා විදුලි කප්පාදුවක් තිබෙනවා කියලා. මම බොහෝම පැහැදිලිව කියන්න කැමති ලංකා විදුලිබල මණ්ඩලය අද විදුලි කප්පාදුවක් නැතිව යන්න පුළුවන් තත්වයක තිබෙනවා.
අපේ ගල් අගුරු බලගාරය මෙගා වොට් 300 ගාණේ යුනිට් 900 ක් තිබෙනවා. එක බලගාරයක පොඩි හදිසි ආපදාවක් තිබෙනවා. එය මේ මාසයේ අවසාන වන විට අවසන් කරන්න පුළුවන්. ඊට අමතරව ජල විදුලි බලාගාරවලින් අපි ඉතුරු විදුලිබලය අරගෙන තමයි අපි මේ කටයුතු කරන්නේ.
ජනවාරි මාසයේ වන විට ඉල්ලුම් වැඩිවෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා අපිට අතිරේක විදුලිය ඕන කරනවා. ඒ සඳහා අපි තෙල් සංස්ථාව සමඟ ගනුදෙනු කරන්නේ තෙල් ලබා ගන්න. මේක සමහර උදවියට ඕන කරලා තිබෙනවා ජනතාව තුළ විදුලිය කපනවා කියලා මහජනතාව අතර භයක් ඇති කරන්න. නමුත් පහුගිය දවස් දෙකේම විදුලි කප්පාදුවක් තිබුණේ නෑ.
මේ විවිධ රාජ්‍ය නොවන ආයතනවලින් මුදල් අරගෙන මේ ආණ්ඩුව අසිරුතාවයකට පත් කරන්න යම් කට්ටියක් ක්‍රියා කරනවා. අපේ රටේ ප්‍රශ්නයක් තිබෙනවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ජනාධිපති වුණාට පස්සේ මේ රටේ හැම එකක්ම කඩාකප්පල් කිරීමේ වැඩපිළිවෙලක් තිබෙනවා. එහෙම නැතිනම් විදුලිබල මණ්ඩලයේ මෙතෙක්කල් කිසිම ප්‍රශ්නයක් තිබුණේ නෑ.
අපි මේ රටේ විදුලි කප්පාදුවක් කරනවා නම් අපි ජනතාවට හොඳින් දැනුවත් කරලයි සිදු කරන්නේ. මොනම හේතුවක් නිසාවත් අපි විදුලිය කැපිමක් නැතිව තමයි පවත්වා ගෙන යන්නේ.” යනුවෙන් මෙහිදි සඳහන් කළේය.
