ලංගම රියැදුරුගේ බෝතල් ප්රහාරයෙන් කොන්දොස්තර මරුට
මොණරාගල සිට කටුනායක වෙත පැමිණි ශ්රී ලංගම දුර ගමන් සේවා බස් රථයේ රියැදුරුවරයා විසින් එල්ල කරන ලද වීදුරු බෝතල් ප්රහාරයකින් කොන්දොස්තරවරයා තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් පසුව අද (24දා) මිය ගොස් ඇති බව කටුනායක පොලීසිය පවසයි .
දිනපතා මොණරාගල සිට අලුයම 05.00 ට පිටත්වන මෙම බස් රථය කටුනායකට පස්වරු 02.30 පමණ වනවිට ළගා වේ . ඉන්පසුව මෙම බස් රථය පසු දා අලුයම 05.00 ට මොණරාගල බලා පිටත්ව යන තෙක් කටුනායක විහාරස්ථානයක නවතා තැබීම සිදු කරයි .
මොවුන් දෙදෙනා ආහාර ගැනීමට ඊයේ (23දා) රාත්රී 07.30 ට පමණ සූදානම් වී , මත් පැනින් සප්පායම් වෙමින් සිටින අතරතුර දේශපාලන සංවාදයක් පටන් ගෙන තිබේ . එම සංවාදාත්මක තත්වය උත්සන්න වීමත් සමග මෙම බස් රථයේ රියැදුරුවරයා අත තිබූ බෝතලයක් කඩා කොන්දොස්තරවරයාගේ ගෙල ප්රදේශයට ප්රහාරයක් එල්ල කර තිබේ .
එම ප්රහාරයෙන් තුවාල ලැබූ විජේසිංහ මුදියන්සේලාගේ අනුර පවන් කුමාර නැමැති 38 හැවිරිදි කොන්දොස්තරවරයා කටුනායක පොලීසිය වෙත පැමිණ , පැමිණිල්ලක් ද සිදු කර මීගමුව මහ රෝහල වෙත ප්රතිකාර සදහා ඇතුළු වී තිබේ .
එසේ මීගමුව මහ රෝහලේ ප්රතිකාර ලබමින් සිටි කොන්දොස්තරවරයා අද (24දා) උදෑසන මිය ගොස් ඇති බව කටුනායක පොලීසිය වෙත රෝහල විසින් දැනුම් දී තිබේ .
මෙම මොණරාගල බලා පිටත්ව යන ශ්රී ලංගම බස් රථය අද (24දා) කටුනායක සිට පිටත්ව ගොස් නොමැති අතර , මෙම ප්රහාරය සිදු කළ 36 හැවිරිදි කොඩිකාර මුදියන්සේලාගේ සරත් බණ්ඩාර නැමැති එම බස් රථයේ රියැදුරුවරයා ද මේ වනවිට කටුනායක පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මෙම රියැදුරුවරයා සහ කොන්දොස්තරවරයා ද මොණරාගල , මාගන්දරමුල්ල නැමැති එකම ගමේ පදිංචිකරුවන් වීම ද විශේෂත්වයකි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

