ශ්‍රී ලංකා රජයේ අනුග්‍රහය යටතේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ඉයන් පෙයිස්ලේට ලබාදුන් ශ්‍රී ලංකා සංචාර දෙකක් එරට පාර්ලිමේන්තුවට වසන් කිරීම හේතුවෙන් එම මන්ත්‍රීවරයාට දින 30ක පාර්ලිමේන්තු තහනමක් පැනවීමට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තීරණය කර තිබේ.
එම සංචාරයට අදාළ තොරතුරු ලේඛනගත නොකර වසන් කිරීම හේතුවෙන් ඔහුට එරෙහිව මෙම තීරණය ගෙන ඇති බවක් එසේම ඔහුට පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය අහිමිවීමේ අවස්ථාවක්ද ඇති බව එංගලන්ත මාධ්‍ය වාර්තා කරයි.
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්රදාය අනුව දින 10කට වඩා පාර්ලිමේන්තුව තහනම් කරන මන්ත්‍රීවරයෙකුට නැවත පාර්ලිමේන්තුවට පිවිසීමට නම් පවත්වන අතුරු මැතිවරණයෙන් ජය ගැනීමට සිදුව තිබේ.
මේ සම්බන්ධයෙන් ඩේලි ටෙලිග්රාෆ් පුවත්පත මුලින්ම ගවේෂණාත්මන ලිපියක් 2017 සැප්තැම්බර් මාසයේ පළ කළ නමුත් ඔහු එය ප්‍රතික්ෂේප කළේය.
කෙසේ වෙතත් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් මන්ත්‍රීවරයා ශ්‍රී ලංකාවේ කළ සංචාර ලේඛනගත නොකිරීම පිළිබඳව සමාව ඉල්ලා සිටියේය.
මෙම එක් සංචාරයක් වෙනුවෙන් පවුම් 50000ක් (රුපියල් 10,350,000) වැය වී ඇති බව ඔහු ප්‍රකාශ කළත් එම අගය ඊට වඩා වැඩි විය හැකි බවද එංගලන්ත වාර්තා පෙන්වා දෙයි. ඔහු ශ්‍රී ලංකාවට ව්‍යාපාරික පංතියේ ගුවන් ප්‍රවේශපත්‍ර ලබාගෙන ගමන් කර ඇති අතර පළමු පංතියේ හෝටල තුළ ශ්‍රී ලංකාවේ රැඳී සිටියි. මේ සියලු මුදල් ශ්‍රී ලංකා රජය ලබාදී තිබෙන බවට එංගලන්ත මාධ්‍ය චෝදනා කළේය.
2013 වසරේදී ඔහු ශ්‍රී ලංකාවේ සංචාරය කර තිබූ අතර 2014 වසරේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම විසින් ගෙන ආ යෝජනාවලියට විරුද්ධව ඔහු එවකට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා වූ ඩේවිඩ් කැමරන්ට ලිපියක්ද යොමු කර තිබිණි.
මේ සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා සිය ප්‍රකාශය කරන විට ඉතාමත් හැඟීම්බර වී ඇති අතර ඒ සම්බන්ධයෙන් සමාව ගන්නා අතරම තම වරද බාරගන්නා බවත් ඔහු පැවසීය.
තමන් සම්බන්ධයෙන් පනවා ඇති තහනමට කනගාටුවක් නොවන බවත් 2013 වසරේදී තමන් පාර්ලිමේන්තුවට තෝරාපත්කර ගත් ජනතාව තවදුරටත් තමන් කෙරෙහි විශ්වාසය පළකරනු ඇති බවට තමන් විශ්වාස කරන බවත් ඔහු වැඩිදුටරත් පවසයි.

www.bbc.com/www.belfasttelegraph.co.uk/www.independent.ie ඇසුරෙනි