ලංකාවේ ජනගහනයෙන් සියයට 10ක් නිදන්ගත වකුගඩු රෝගයෙන්
මෙරට ජනගහනයෙන් 10% ක් පමණ නිදන්ගත වකුගඩු රෝගයෙන් පෙළෙනු ඇති බවත්, කල්තියා හඳුනා ගැනීම සහ නිසි ප්‍රතිකාර මගින් අවසන් අදියරේ වකුගඩු රෝගීන් 30% කින් අඩු කර ගත හැකි බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
ශ්‍රී ලංකාවේ බරපතල මහජන සෞඛ්‍ය අභියෝගයක් වී ඇති නිදන්ගත වකුගඩු රෝගය පාලනය කිරීම සඳහා ප්‍රතිකාර සේවාවන්ට පමණක් සීමා නොවී, රෝග නිවාරණය සහ කල්තියා හඳුනා ගැනීම කෙරෙහි රජයේ ප්රමුඛ අවධානය යොමු කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
ශ්‍රී ලංකා වකුගඩු රෝග විශේෂඥයින්ගේ සංගමය (Sri Lanka Society of Nephrology - SLSON) විසින් සංවිධානය කරනු ලැබූ "NephCON 2026" හත් වන වාර්ෂික විද්‍යාත්මක අධ්‍යයන සැසිවාරයේ සමාරම්භක උත්සවය පසුගිය දා කොළඹ ෂැංග්‍රි-ලා හෝටලයේදී පැවැති අතර, ඊට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙම අදහස් දැක්වීය.
වකුගඩු රෝග සහ වෘක්කවේදය (Nephrology) පිළිබඳව දෙස් විදෙස් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන ප්‍රධානතම ජාත්‍යන්තර වෛද්‍ය සමුළුවක් වන මෙම සමුළුව "සැමට වකුගඩු සෞඛ්‍යය: කඩිනම් පියවර, තිරසර බලපෑම" (Kidney Health for All: Early Action, Lasting Impact) යන තේමාව යටතේ පැවැති අතර එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා ශ්‍රී ලංකා වකුගඩු රෝග විශේෂඥයින්ගේ සංගමයේ දත්ත අනුව මෙරට ජනගහනයෙන් 10% ක් පමණ එනම් මිලියන 2.2 ක පිරිසක් නිදන්ගත වකුගඩු රෝගයෙන් පෙළෙනු ඇති බවට ඇස්තමේන්තු කර ඇති බව පෙන්වා දුන්නේය.
වාර්තා වූ නිදන්ගත වකුගඩු රෝගීන් සංඛ්‍යාව 2025 වසර වන විට 112,000 දක්වා ඉහළ ගොස් ඇති අතර, රෝගීන් 8,000 ක් පමණ රුධිර කාන්දුකරණ (Dialysis) ප්‍රතිකාර ලබන බවත් ඒ සඳහා වාර්ෂිකව රුපියල් බිලියන 16.8 ක පමණ මුදලක් වැය වන බවත් අවධාරණය කළේය.
මෙම දත්ත මගින් අප හමුවේ ඇති අභියෝගයේ විශාලත්වයත්, කඩිනම් හා ඵලදායී ක්‍රියාමාර්ග ගැනීමේ වැදගත්කමත් පෙන්නුම් කරන බවත්, රෝගීන් සංකූලතා සහිතව රෝහල් වෙත පැමිණෙන තෙක් බලා නොසිට, 'ආරෝග්‍යා' සුවතා මධ්‍යස්ථාන වැඩසටහන හරහා ප්‍රජාවට සමීපව රෝග පරීක්ෂා කිරීමේ සහ කල්තියා හඳුනා ගැනීමේ සේවාවන් ව්‍යාප්ත කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය. ඒ සඳහා මේ වන විටත් වෛද්‍යවරුන් සහ හෙද නිලධාරීන් 6,000 කට ආසන්න පිරිසකට විශේෂ පුහුණුව ලබා දී ඇති බවත්, ඵලදායී පරීක්ෂණ සහ නිසි ප්‍රතිකාර මගින් වාර්ෂිකව අලුතින් වාර්තා වන අවසන් අදියරේ වකුගඩු රෝගීන් 30% කින් අඩු කර ගත හැකි බවත් ඔහු පෙන්වා දුන්නේය.
මෙරට වකුගඩු බද්ධ කිරීමේ සේවාවන්හි කැපී පෙනෙන ප්‍රගතියක් පෙන්නුම් කරමින් 2024 වසරේදී සිදු කළ වකුගඩු බද්ධ කිරීම් 241 ක ප්‍රමාණය 2025 වසරේදී 557 දක්වා දෙගුණයකටත් වඩා ඉහළ ගොස් ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. සෞඛ්‍ය ක්ෂේත්රයේ ඩිජිටල්කරණ වැඩපිළිවෙළ යටතේ ජාතික වකුගඩු රෝගීන්ගේ දත්ත පද්ධතියක් සහ ජාතික අවයව බද්ධ කිරීමේ පොරොත්තු ලේඛනයක් ස්ථාපිත කිරීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
වකුගඩු රෝග කල්තියා හඳුනා ගැනීම, ප්‍රතිකාර ක්‍රමවේද වැඩිදියුණු කිරීම සහ ඒ සඳහා තිරසර විසඳුම් සෙවීම මෙන්ම වැඩිහිටි හා ළමා වකුගඩු රෝග ප්‍රතිකාර, නිදන්ගත වකුගඩු රෝග පාලනය, සහ නවතම වෛද්‍ය පර්යේෂණ පිළිබඳව දේශීය හා ජාත්‍යන්තර විද්වතුන් අතර දැනුම හුවමාරු කර ගැනීම මෙම සැසිවාරයේ ප්‍රධාන අරමුණු වන අතර වකුගඩු රෝග නිවාරණය සහ නවීන වෛද්‍ය තාක්ෂණය පිළිබඳව මෙහිදී පුළුල් ලෙස දැනුම හුවමාරු කර ගැනීමට නියමිතය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
