රෝහල් සහ අනෙකුත් සෞඛ්‍ය ආයතනවල බුලත් විට සැපීම සහ බුලත්විට, දුම්කොළ, පුවක් සහ පුවක් ආශ්රිත නිෂ්පාදන විකිණීම තහනම් කිරීමට පියවර ගෙන ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්(දන්ත) සහ ජාතික දන්ත රෝහලේ අධ්යක්ෂ, විශේෂඥ දන්ත ශල්‍ය වෛද්‍ය චන්දන ගජනායක මහතා පැවසීය.
ලෝක හිස හා ගෙල ආශ්රිත පිළිකා දිනය එළඹෙන 27 වැනිදාට යෙදී ඇති අතර, ඒ වෙනුවෙන් මාධ්‍ය දැනුම්වත් කිරීම සඳහා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද (23දා) පැවැති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව කීය.
2017 නොවැම්බර් මස 24 වැනිදා රැස්වූ පිළිකා වැළැක්වීමේ සහ පාලනය පිළිබඳ උපදේශක කමිටු රැස්වීමේදී මෙම තීරණය ගත් බවත්, චක්‍රලේඛයක් මගින් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා විසින් සියලුම සෞඛ්‍ය ආයතනවලට මේ බව දැනුම් දී ඇති බවත් ඒ මහතා කියා සිටියේය.
එසේම පාසල් හා අනෙක් අධ්‍යාපනික ආයතන තුළ බුලත්විට සැපීම සහ බුලත්විට විකිණීම තහනම් කිරීම සඳහා අදාළ ක්‍රියාමාර්ග ගැනීමට අදාළව උපදෙස් හා ඉල්ලීමක්ද සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අධ්‍යාපන අමාත්‍යාංශයට යොමුකර ඇති බවද මෙම මාධ්‍ය සාකච්ඡාවේදී අනාවරණය කෙරිණි.
තවද 2016 සැප්තැම්බර් මස සිට දුම් රහිත දුම්කොළ ආශ්රිත නිෂ්පාදන මෙරටට ගෙන ඒම හා රටතුළ විකිණීම තහනම් කර ඇතත්, එම නීතිය පිළිබඳ ඇති නොදැනුම්වත්භාවය නිසා මෙම නිෂ්පාදන අලෙවි කිරීම තවදුරටත් සිදුවන බවද නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.
