ලොරි රථයක ඉතා සූක්ෂමව රහස්කුටියක සඟවන ලද රුපියල් කෝටි දෙකහමාරකට අධික වටිනාකමින් යුත් කේරල ගංජා කිලෝ 200 ග්‍රෑම් 126 ක ප්‍රමාණයක් මන්නාරම මැදවච්චිය ප්‍රධාන මාර්ගයේදී ප්‍රවාහනය කරමින් සිටියදී සැකකරුවෙකු සමග ඊයේ (01) දින අත්අඩංගුවට ගත් බවට පරයානංකුලම් පොලීසිය පවසයි.
මන්නාරම මැදවච්චිය ප්‍රධාන මාර්ගයේ පෙරියකට්ටු ප්‍රදේශයේදී අදාල සැකකරු ලොරි රථය ධාවනය කරමින් සිටයදී පරයානංකුලම් පොලීසිය විසින් මෙම වැටලීම සිදු කොට ඇත්තේ පොලීසියට ලැබුනු බුද්ධි තොරතුරකට අනුවය.
ලොරි රථය නවතා පරික්ෂා කිරීමේදී ලොරිය ඇතුලත් ඉතා රහසිගතව සකසන ලද කුටියක් තුල පාර්සල් 87 ක අදාල කේරල ගංජා තොගය හමු වී ඇත.
ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් මන්නාරමට ගෙන මන්නාරමේ සිට දකුණේ ජාවාරම් කරුවන් වෙතට බෙදා හැරීමට සැලසුම් කොට තිබූ බවට පොලීසිය සැක පල කර සිටියි.
කේරල ගංජා තොගය සමගින් ලොරි රථය හා එහි රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 22 වයසැති පේදුරුතුඩුව ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වන අතර ඔහු අද දිනයේදී වව්නියාව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවටද පරික්ෂණ සිදු කරන පරයාණංකුලම් පොලීසිය වැඩි දුරටත් පැවසීය.
කේරල ගංජා අත්අඩංගුවට ගැනීම සඳහා වන්නි දිසාව භාර නියෝජ්‍ය පොලිස් පති ධම්මික ප්‍රියන්ත මහතාගේ අධීක්ෂණයෙන් කොට්ඨාශ භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී තිස්ස ලාල්ද සිල්වා මහතාගේ උපදෙස් පරිදි පරයානංකුලම් පොලිස් සථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක උපුල් රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් මෙම වැටලීම සිදු කරන ලදි.
