දඹුල්ල හබරණ ප්‍රධාන මාර්ගයේ දඹුල්ල පැල්වෙහෙර ප්‍රදේශයේදි අද (06) දින පෙරවරුවේ කැබ් රථයක් යතුරුපැදියක් අනතුරට ලක්වීමෙන් යතුරු පැදියේ ගමන් ගත් අඹුසැමි යුවලක් මියගිය බව දඹුල්ල පොලීසිය පවසයි.
මෙම අනතුරින් මියගොස් ඇත්තේ බොරවැව සෙවනපිටිය ලිපිනයේ පදිංචි ඩබ්ලිව් .පුංචිබණ්ඩා සහ ආර්.එම් .විමලා ධර්මසිරි යන දෙදෙනෙකු බව පොලීසිය හඳුනාගෙන තිබේ.
යතුරුපැදිය දඹුල්ල දෙසින් හබරණ දෙසට ධාවනය වෙමින් තිබියදී යතුරුපැදියට ඉදිරියෙන් ගිය තවත් කැබ් රථයක් වේගය පාලනය කරනවාත් සමඟ යතුරුපැදිකරු එම කැබ් රථය ඉස්සර කිරීමට යෑමේදී එම රථයේ බඳේ වැදී ප්‍රධාන මාර්ගයට දෙදෙනාම ඇඳ වැටෙනවාත් සමග හබරණ දෙසින් දඹුල්ල දෙසට ධාවනය වූ කැබ් රථයට යට වීමෙන් මෙම අනතුර සිදුවී ඇතැයි පොලීසිය කියයි.
අසල තිබූ ඉන්ධන පිරවුම් හලක ආරක්ෂිත කැමරාවේ මෙම අනතුර සටහන්ව තිබිණි.
අනතුරට පත් රථය පොළොන්නරුව ප්‍රාදේශිය ලේකම් වරයාගේ කාර්යාලයට අයත් කැබ් රථයක් බවත් ප්‍රාදේශිය ලේකම්වරයාගේ බිරිඳ සහ දරුවෙකු දඹුල්ල ප්‍රදේශයේ නිවසට ඇරලවීම සඳහා ගමන් කරමින් තිබියදී මෙම අනතුරට ලක්ව ඇතැයි පොලිසිය කියයි.
පොළොන්නරුව ප්‍රාදේශිය ලේකම්වරයාගේ බිරිඳ කියා සිටියේ එක වැරම ප්‍රධාන මාර්ගයේ යතුරුපැදියක් පෙරළි තම වාහනයට යට වන ආකාරය දුටු බවය.
මියගිය අඹුසැමි යුවළ පොළොන්නරුව මොරවැව සෙවණපිටිය ලිපිනයේ පදිංචිව සිටිය ද ගලේවෙල දේවහුව ප්‍රදේශයේ තාවකාලිකව නැවතී සිටින බවත් දෙදෙනා යතුරුපැදියෙන් දේවහුව ප්‍රදේශයේ සිට නැවත බොරවැව සෙවනපිටියට ගමන් කරමින් සිටියදීය අනතුර සිදුවන්නට ඇති බව පොලිසිය සැක කරයි.
අනතුර සිදු වනවාත් සමඟ යතුරුපැදිය බඳේ ගැටෙන කැබ් රථය එම ස්ථානයෙන් පලා ගොස් ඇතැයි පොලීසිය කියයි. ආරක්ෂිත කැමරා උපයෝගීකරගෙන එම රථය අත්අඩංගුවට ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බව දඹුල්ල රථවාහන පොලීසියේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
මියගිය දෙදෙනාගේ මෘත දේහයන් දඹුල්ල රෝහලේ තැන්පත් කොට ඇති අතර පොළොන්නරුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට අයත් කැබ් රථයේ රියදුරු සැකපිට පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ .
සිද්ධිය සම්බන්ධයෙන් දඹුල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.
