යාපනය පළාලි ගුවන් තොටුපළේ පහසුකම් වැඩිදියුණු කිරීම කඩිනම් කර ඒ සදහා ඉන්දියානු රජය සමග අත්සන් කිරීමට නියමිත අවබෝධතා ගිවිසුම කඩිනමින් අත්සන් කිරීමට අපේක්ෂා කරන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
කොව්ඩ් 19 හෙවත් කොරෝනා වසංගතයට පෙර මෙම ගිවිසුම අත්සන් කර අදාළ පහසුකම් වැඩිදියුණු කිරීමේ කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණ ද වසංගතය පැතිරයාම සදහා රට තුළ පැවති තත්ත්වය මත එය ප්‍රමාද විය. දැන් රට යථා තත්ත්වයට පත්වෙමින් පවතින බැවින් යාපනය පළාලි ගුවන් තොටුපළේ සංවර්ධන කටයුතු ද කඩිනමින් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව ඇමතිවරයා පැවසීය.
යාපනය පළාලි ගුවන් තොටුපල සංවර්ධනය සදහා ඉන්දියානු රජය රුපියල් මිලියන 300 ප්‍රදානයක් ලබා දීමට එකඟතාවය පල කර තිබේ. මෙමඟින් පැමිණීමේ හා පිටත්වීමේ ගුවන් මගීන්ගෙන් ගුවන් මලු මෙහෙයුම් කටයුතු සදහා සරල මෙහෙයුම් පද්ධතියක් ස්ථාන ගත කිරීම, පිටත් වීමේ අංශයේ ගුවන් මගී පරීක්ෂාව හා ගුවන් මගීන් බෙදා වෙන් කීරීම ස්ථාන ගත කිරීම, ජල සැපයුම අපහරණ ජල පද්ධතිය අපද්‍රව්‍ය බැහැරුම් පද්ධතිය වැනි පහසුකම් වැඩි දියුණු කිරීමට අපේක්ෂිතය.
දෙවන ලෝක යුද්ධ සමයේදී රාජකීය ගුවන් හමුදාව විසින් ආරම්භ කළ යාපනය පළාලි ගුවන් තොටුපල නිදහසින් පසු මෙරට දෙවන ජාත්‍යන්තර ගුවන් තොටුපල ලෙස දකුණු ඉන්දීය ගමනාන්තයන් සදහා ගුවන් ගමන් ක්රීයාත්මක විය. කොටි ත්රස්ත්රවාදය හේතුවෙන් 1980 න් පසු මෙවැනි ගුවන් මෙහෙයුම් නතර වු අතර 2002 වන විට ශ්‍රී ලංකා ගුවන් හමුදා පාලනයට නැතුව සිදුවූයේ අභ්‍යන්තර ගුවන් මෙහෙයුම් පමණි.
මෙය නැවත ගුවන් ගමන් සදහා විවෘත කෙරුණේ 2019 ඔක්තෝම්බර් 17 වන දිනයි. පසුගිය යහපාලන ආණ්ඩුව විසින් කඩිමුඩියේ මෙම ගුවන් තොටුපළ විවෘත කළ ද එම ගුවන් තොටුපළ ජාත්‍යන්තර ගුවන් තොටුපළකට අවශ්‍ය ප්‍රමාණවත් පහසුකම් වලින් සමන්විත නොවීම පිළිබදව විවිධ පාර්ශව වලින් චෝදනා එල්ල වීය.
ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කළේ කොවිඩ් 19 වසංගතයෙන් පසු රට විවෘත වීමත් සමග කටුනායක ගුවන් තොටුපළට අමතරව මත්තල හා යාපනය, රත්මලාන ගුවන් තොටුපළවල ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් වැඩි කිරීම කෙරෙහි අවධානය යොමුව ඇති බවයි. මෙම ගුවන් තොටුපළ වල ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් සිදු කිරීමට ගුවන් සමාගම් දිරි ගැන්වීම සදහා විවිධ සහන ලබා දීමට ද රජය කටයුතු කරමින් සිටින බව ඇමතිවරයා සඳහන් කළේය.