ආණ්ඩුවේ මැති ඇමතිවරු පාතාල සාමාජිකයන් වෙනුවෙන් කතා කිරීම තුළින් ජනතාවට පාතාලය සම්බන්ධයෙන් දැඩි බියක් ඇතිව ඇති බව හිටපු ඇමති චන්දිම වීරක්කොඩි මහතා පවසයි.
මාධ්‍ය ඇසූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබා දෙමින් අද (26දා) ඒ මහතා මේ බව පැවසීය.
“අද ලංකාවම ක්‍රියාන්විත ප්‍රදේශයක් වගේ. පාතාලය බේකින් නිවුස් මවන තත්ත්වයක් මතුවෙලා. පසුගිය කාලේ ඔට්ටුසුඩාන්, කිළිනොච්චිවල තිබුණු තත්ත්වය අද මුළු රටටම බලපාලා තියනවා. අද මේ ඇමතිවරු කරන ප්‍රකාශත් එක්ක පාතාලයේ බිය නැතිවෙලා. ජනතාව බියට පත්වෙලා.
මොකද එජාපයට තියෙන්නේ පාතාලය සමඟින් ආණ්ඩු කරපු ඉතිහාසයක්. අද යළිත් එවැනි තත්ත්වයකට පත් වී ඇත්දැයි සැකයක් පවතිනවා. දවසින් දවස පාතාල ක්‍රියාකාරකම් ඉහළ යනවා. අරහේ වෙඩි තිව්වා කියනවා. මෙහේ මැරුවා කියනවා. මහ දවල් පාතාලය එළිබැහැලා මිනීමරන්න පටන් අරන් තියන කාලයක් දැන් ආරම්භ වෙලා. පසුගිය කාලයේ පාතාලය මර්දනය කර තිබු අවස්ථාවක තමයි ආණ්ඩු මාරුවීම සිදුවුනේ. ඒ නිසා මේ තත්ත්වයට අනිවාර්යෙන්ම මේ ආණ්ඩුව වගකිය යුතු වගේම මේ සදහා ඉක්මන් විසදුම් සෙවිය යුතුයි.

හබරාදුව - නිමල් අල්ගෙවත්ත