පවතින ආණ්ඩුවේ එකම ප්‍රතිපත්තිය වෙලා තිබෙන්නේ කල්ලියක් එකතුවෙලා ඇති තරම් හොරකම් කරන එකයි කොමිස් ගහන එකයි විතරයි. ජනතාවට කිසි දෙයක් ලබාදීලා නැහැ යනුවෙන් කොළඹ දිස්ත්‍රික් පා.ම සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.
ඒ මහතා මේ බව සඳහන් කළේ ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ගම සමග පිළිසදරක් වැඩසටහනට එක් වෙමිණි.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු මන්ත්‍රීවරයා,
“මහ බැංකු හොරකමේ පළමුවෙනි විත්තිකරුවා මහ බැංකුවට ගෙනාවෙත් ආපසු සිංගප්පූරුවට යැව්වෙත් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයයි. කොමිසන් වාර්තාවෙත් ඒ බව සඳහන් වෙනවා. මම කෝප් කමිටුවෙත් හිටියා. දිවුරුම් ප්‍රකාශ වලත් ඒ බව සඳහන්.
මම නීතිඥයෙක් විදිහට අධිකරණයේ අපරාධ නඩු වලට පෙනී සිටිනවා. ඒ නිසා මම දන්නවා සොරකමට ආධාර හා අනුබල දෙන අයත් ඒ චොදනාවට දඩුවම් විදින්න වෙන බව. එම නිසා රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාටත් මහ බැංකු සොරකම සම්බන්ධයෙන් චෝදනා පත්‍රයක් ගොනු වෙනවා.
එම නිසා මහ බැංකුවේ පළමු විත්තිකාරයා ආපසු ලංකාවට ගේන්න රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කරන්නේ නැහැ. මම අභියෝග කරනවා පුළුවන්නම් ලංකාවට ගෙන්වන්න කියලා.
පසුගියදා පස් හය දෙනෙක් මේ සම්බන්ධව ඇතුලට දැම්මා. නමුත් කෝප් වාර්තාවෙන් ආවේ ඒ අයගේ නම් නොවෙයි. පුළුවන්නම් මේවට ආණ්ඩුව උත්තර දෙන්න කියනවා.
විදුලිය අද දිනපතා කපනවා. 2004, 2005 වසර වල රටේ විදුලි බල අමාත්‍ය වරයා මමයි. ඒ වසර වල රටේ ජනතාවගෙන් සියයට අනූ හයකට විදුලිය ලබා දුන්නා. නොරොච්චෝලේ විදුලි බලාගාරය ඉදි කළා. එය ඉදිකරණ කාලේ අපට විවිධ චෝදනා කළා.
අද නොරොච්චෝලේ එක යන්ත්‍රයක් කැඩුනොත් රටට විදුලිය දෙන්න ක්‍රමවේදයක් නැහැ. එම නිසා ජනතාව තීරණය කළ යුතුයි රටට අවශ්‍ය විදුලිය කපන ආණ්ඩුවක්ද එහෙම නැතිනම් විදුලිය ලබාදෙන ආණ්ඩුවක්ද කියලා.
පසුගියදා අපේ ජනාධිපතිතුමා ප්‍රකාශයක් කළා. ඊළගට පත්වෙන ජනාධිපතිවරයා විප්ලවීය වෙනසක් සිදු කරන්න ඕනෑ කියලා. එහෙම කියන්නේ අළුතින් පත්වෙන අයෙකුටයි.
ඒ අළුත් අපේක්ෂකයා ඉදිරිපත් කරන්නේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ ඇතුළු ප්රගතිශීලී අපියි. එම අපේක්ෂකයා දිනන බවට සංඛ්‍යා ලේඛන අනුව අපට පෙන්වාදිය හැකියි” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසිය.
