මුලතිව් අතුරුදන් ධීවරයින් සොයා මෙහෙයුමක්
මුලතිව්, පුදුමාත්තලන් මුහුදු තීරයෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් අතුරුදන් වූ ධීවරයන් තිදෙනා සොයා ගැනීමේ මෙහෙයුම් තීව්ර කර තිබේ. ඒ අනුව, ශ්රී ලංකා ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානයක් යොදා ගනිමින් අද (28) උදෑසන සිට ගුවන් මාර්ගයෙන් සෝදිසි මෙහෙයුම් ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි ධීවර, ජලජ සම්පත් අමාත්යංශය සඳහන් කරයි.
ධීවරයන් තිදෙනා සොයා ගැනීමේ සහ මුදාගැනීමේ මෙහෙයුම් කඩිනම් කරන ලෙස ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්ය රාමලිංගම් චන්ද්රසේකර් මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.
පසුගියදා(26) මුලතිව්, පුදුමාත්තලන් ප්රදේශයෙන් MLT/1742 දරන යාත්රාවෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය ධීවරයන් තිදෙනකු මෙලෙස අතුරුදන් වී ඇත.
අතුරුදන් වූවන් වන්නේ මුලතිව්, අම්බලවන්පොක්කනෙයි ප්රදේශයේ පදිංචි 26 හැවිරිදි ඇන්තනි ජූඩ්, යාපනය ප්රදේශයේ පදිංචි 42 හැවිරිදි ශ්රී පුෂ්පරාජා සහ මන්නාරම ප්රදේශයේ පදිංචි 48 හැවිරිදි මුහම්මද් රිස්වාන් යන අයයි.
සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු ලැබීමත් සමඟ සෝදිසි හා මුදාගැනීමේ මෙහෙයුම් කඩිනම් කිරීමට අමාත්යවරයා පියවර ගෙන තිබේ. ඒ සඳහා ආරක්ෂක අමාත්යාංශය, නාවික හමුදාපතිවරයා සහ ගුවන් හමුදාපතිවරයා සමඟ සම්බන්ධ වෙමින් මෙහෙයුම් තීව්ර කිරීම පිළිබඳව ද සාකච්ඡා කර ඇත.
මුහුදේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය සහ රළු මුහුදු ස්වභාවය හේතුවෙන් සෝදිසි මෙහෙයුම්වලට බාධා එල්ල වී තිබේ. එබැවින් මුහුදු මාර්ගයෙන් සිදුකරන සෝදිසි මෙහෙයුම්වලට අමතරව ගුවන් මාර්ගයෙන් ද මෙහෙයුම් ක්රියාත්මක කිරීමට පියවර ගෙන ඇත.
එමෙන්ම, මෙහෙයුම් ඒකාබද්ධව හා කඩිනමින් ක්රියාත්මක කරන ලෙස මුලතිව් දිස්ත්රික් ලේකම් කාර්යාලය, දිස්ත්රික් ආපදා කළමනාකරණ ඒකකය, නාවික හමුදාව සහ අනෙකුත් අදාළ පාර්ශ්ව වෙත ද අමාත්යවරයා උපදෙස් ලබා දී තිබේ.
අතුරුදන් වූ ධීවරයන් තිදෙනා සුරක්ෂිතව සොයාගෙන මුදාගැනීම සඳහා පවතින සියලු සම්පත් උපයෝගී කර ගනිමින් අවශ්ය පියවර කඩිනමින් ගන්නා ලෙස ද අමාත්යවරයා අදාළ ආරක්ෂක අංශවලින් ඉල්ලා ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

