විහාරස්ථානවලින් මහා පරිමාණයෙන් මුදල් වංචා කළ 55 හැවිරිදි කාන්තාවක, 19 හැවිරිදි ඇයගේ දියණිය හා ඔවුන් පැමිණ කුලී රථයේ රියදුරු අද (26දා) අත්අඩංගුවට ගත් බව වැලිමඩ පොලීසිය පවසයි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ විගණන අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක බව හඟවමින් ප්‍රධාන සැකකාරිය සිය දියණිය සමග විහාරස්ථානවලට ගොස් විහාරස්ථාන සංවර්ධනයට රුපියල් කෝටි ගණනින් මුදල් මහ බැංකුව හරහා ලබාදිය හැකි බවත්, ඒ සඳහා ගිණුමක් ආරම්භ කළ යුතු බවත් පවසා වංචනික ලෙස මුදල් ලබාගෙන ඇති බවත් මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
එමෙන්ම මෙලෙස ලබා දීමට පොරොන්දු වන කෝටි ගණනක මුදලින් තමන්ට කොටසක් ලබා ගැනීමට විහාරාධිපතිවරුන් එකඟ කරවාගෙන ඇති සැකකාරිය එම කොටස ප්‍රථමයෙන්ම ලබාගෙන ඇතැයිද හෙළිව ඇත.
මේ අතර, මුදල් ලබා ගැනීමෙන් පසු පැමිණිලි කළහොත් ඇතිවිය හැකි ප්‍රශ්නවලින් බේරිම සඳහා සැකකාරියගේ දියණිය විහාරස්ථාන අතර ජංගම දුරකථන හා මුහුණුපොත හරහා සබඳතා ඇතිකර ගෙන ඇතැයි පොලීසිය අනාවරණය කරගෙන තිබේ.
මේ අනුව සැකකාරිය වැලිමඩ, කැප්පෙටිපොළ ප්‍රදේශයේ විහාරස්ථානයකින් රුපියල් ලක්ෂ එකහමාරක මුදලක් ලබාගෙන සිටියදී, තවත් මුදල් ලබා දෙන බව පවසා එම විහාරස්ථානයට ගෙන්වා ගෙන පොලීසියට බාරදී තිබේ.
මීට අමතරව සැකකාරිය මහ බැංකුවේ රැකියා ලබාදෙන බව පවසා විවිධ ප්‍රදේශවල පුද්ගලයන්ගෙන් මුදල් ලබාගෙන ඇතැයිද තොරතුරු අනාවරණය වී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් බණ්ඩාරවෙල පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතාගේ උපදෙස් මත වැලිමඩ පොලිස් ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක එච්.එම්.ඩබ්. හේරත් මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.

බදුල්ල - පාලිත ආරියවංශ