මහින්ද දිවුරුම් ප්‍රකාශයක් දුන්නොත් විශ්වාස කරනවා
චීන සමාගමෙන් ඇමරිකානු ඩොලර් මිලියන 7.6ක් නොලැබුණු බවට දිවුරුම් ප්‍රකාශයක් ලබා දෙන ලෙසට හිටපු ජනාධිපති මහින්ද රාපක්ෂ මහතාට තමන් ප්‍රකාශ කරන බවත් එවැනි ප්‍රකාශයක් ලබා දෙන්නේ නම් රාජපක්ෂ මහතා විසින් අදාල මුදල් නොගත් බවට විශ්වාස කළ හැකි බවත් එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක, වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක ඊයේ (01දා) මහතා පැවසීය.
හෙතෙම මේ බව පවසා සිටියේ වලපනේ ආසනයේ රාගල ප්‍රදේශයේ පැවති එක්සත් ජාතික පාක්ෂික ජන හමුවක් අමතමිනි.
2020 මැතිවරණය සඳහා නියමිත වේලාවට එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා නම් කරන බවත් එහිදී දිනිය හැකි 'ජොකියන්' එක්සත් ජාතික පක්ෂය සතුව ඇති අතර කන්ද උඩ රටිනුත් 'ජොකියන්' සිටින බවට තමන් ප්‍රකාශ කරන බවත් පැවසීය.
“තමුන්නාන්සේලා දන්නවා මේ දවස් වල කතා වෙන මාතෘකාවක් තමයි රාජපක්ෂ මහත්තයාට චීන සමාගමකින් ඩොලර් මිලියන 7.6 ක් දුන්නා කියන එක මැතිවරණ කාලයේදී. ඒ ප්‍රමාණය විශාල මුදලක්. එහෙම නම් ඇයි මේ මුදල් චීන සමාගම විසින් රාජපක්ෂ මහත්තයාට දෙන්නේ. අපිට එහෙම මුදල් හම්බ වුණේ නෑ.
එදා සුද්දගේ අධිරාජ්‍යවාදයට යටත් වෙලා තිබුණ අපේ රට අද චීනයේ අධිරාජ්‍යවාදයට යටත් වෙලා ද? කියලා අහන්න කැමතියි. නමුත් අපි රාජපක්ෂ මහත්තයාට කිසිම අහිතකර දෙයක් වෙන්න කියලා කියන්නේ නෑ. එතුමා මේ රටේ නායකයෙක් හැටියට මේ රටට වැඩක් කළා. යුද්ධය අවසන් කළා.
නමුත් මම එතුමාට කියනවා රාජපක්ෂ මැතිතුමනි, දිවුරුම් ප්‍රකාශයක් දෙන්න ඇමෙරිකානු ඩොලර් මිලියන 7.6ක් හම්බ වුණේ නෑ කියලා. එතකොට අපිට විශ්වාස කරන්න පුළුවන් ඒ ආකාරයට මුදල් ලැබුණේ නෑ කියලා."

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

