මෙවර මහමැතිවරණයේ දී මහින්ද අතහැර නොයන අයට පමණක් ඡන්දය දෙන්නැ‘යි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා ජනතාවගෙන් ඉල්ලයි.
ඔහු අවධාරණය කරන්නේ තනතුරු, වරප්‍රසාද හා මුදලට විකිණී මහින්ද අතහැර යන අය පාර්ලිමේන්තුවට පත් නොකළ යුතු බවයි.
රටට කළ විනාශය නිසා මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාට ඡන්දය දී නැවත පාර්ලිමේන්තුවට නොඒවන ලෙස තමන් පොළොන්නරු ජනතාවගෙන් ඉල්ලා සිටින බව පැවසු ඇමතිවරයා ඔහු නැවත පාර්ලිමේන්තුවට පත් කීරීමේ පාපයට පොළොන්නරු ජනතාව මෙවර හවුල් නොවනු ඇතැයි ද පැවසීය.
බිංගිරියේ ඊයේ (15) පැවති රැස්වීමක දී ඇමතිවරයා මේ බව සඳහන් කළේය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක් වූ ප්‍රසන්න රණතුංග මහතා ,
“මම මහින්ද මහත්තයා වෙනුවෙන් එළියට බැස්සේ. එදා මගේ නිල නිවාස නැති වුණා. මහඇමතිකම නැති කරන්න හැදුවා. පවුලේ සහෝදරවරු මාව අතෑරියා. මාව, නෝනාව හිරේ දාන්න හැදුවා. මේ හැමදේකටම මම අහු වුණා. ඒත් මම මහින්ද මහතත්යාව අතහැරියේ නෑ. මෛත්‍රී - රනිල් කියන්නේ එළ හරකයි - මී හරකයි වගේ. රට දෙපැත්තට ඇද්දා. රටේ දේශපාලන ස්ථාවරය නැති කළා.
ආයෝජකයෝ රටට ආවේ නෑ. ආව ආයෝජකයන්ගෙන් මුන් කප්පම් ඉල්ලුවා. මහ බැංකුව මහ දවාලේ එළිපිට හොරකම් කළා. සමලිංගික පණත් පාර්ලිමේන්තුවට ගෙනාවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට බෞද්ධ ආගමට විරුද්ධ අණපණත් ගෙනාවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හැදුවේ අන්තවාදීන්ගේ උවමනාවටය. පාස්කු ප්‍රහාරය පිළිබද තොරතුරු දැනුම් දීලා තියෙනකොටත් ඒක වළක්වාගන්න රනිල් - මෛත්‍රී ආණ්ඩුවට බැරි වුණා. රනිල් - මෛත්‍රී වගේම ඒ ආණ්ඩුවේ හිටපු සියලු දෙනා මේ පාස්කු ප්‍රහාරයට වගකිව යුතුයි. යහපාලන ආණ්ඩුව පාස්කු ප්‍රහාරය ගැන කමිටුවක් පත් කළේ චෝදනා එල්ල වූ සිය ගජමිතුරන්ට සුදුහුණු ගෑමටයි. කමිටුවේ හිටියා ලපකුමාරගේ ගෝලයෙක්. බෝම්බකරුවෝ දෙන්නෙක්ගේ තාත්තා ජෙ.වි.පි ජාතික ලැයිස්තු අපේක්ෂකයෙක්.
බැරිවෙලා හරි මේ කොරෝනා එන වෙලාවේ රනිල් - මෛත්‍රී ජෝඩුව බලයේ හිටියානම් මේ රටට අබ සරණයි. එහෙම මෛත්‍රී රටේ කොරෝනා රෝගීන් ගැන දැන ගන්නේ පත්තරෙන්. රනිල් කොමිසමක් ඉල්ලයි. කොමිසම හොයන්නේ කොරෝනා ගැන නෙමෙයි. කොරෝනා වල මුල අකුර සී ද කේ ද කියලයි. ඇමෙරිකාවේ ලක්ෂ ගාණක් මැරුනා. අපේ එහෙම මැරනේ නෑනේ කියයි. රටේ වාසනාවට තමයි කොරෝනා එනකොට රනිල් - මෛත්‍රී ඩබල නොහිටියේ.
පක්ෂයක් හැදුවොත් අපිව පාරේ ඇවිද්දවනවා කිව්ව මෛත්‍රී අද අපේ පක්ෂයට ඡන්දය ඉල්ලමින් පොළොන්නරුවේ පාරක් පාරක් ගාණේ යනවාලු. මම පොළොන්නරුව ජනතාවගෙන් ඉල්ලනවා මෛත්‍රීට ඡන්දය දෙන්න එපා කියලා. මෛත්‍රී රටත් කෑවා. පක්ෂයත් කෑවා. එතුමාගේ පස්සෙන් ගිය ශ්‍රීලනිපයේ මිනිස්සුන්ට අද මොකද වෙලා තියෙන්නේ. යන එනමං නැතිවෙලා. රටම නැති කරලා පක්ෂයත් නැති කළා. ඒ වගේම තමයි සජිත් ගැන කථා කරලා වැඩක් නෑ. බැරිවෙලාවත් සජිත් රටේ නායකයා වුණානම් ඒත් අබ සරණම තමයි. සජිත්ගේ තාත්තා 88 – 89 කාලයේ මිනී මැරුවා තමයි. අවුරුදු ගාණක් පාර්ලිමේන්තුවේ ඉන්නවා. සජිත්ලා මොනවද කළේ? යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.
