මහනුවර බූවැලිකඩ සංඝමිත්තා මාවතේ කඩාවැටුන ගොඩනැගිල්ලේ ප්‍රමිතිය සම්බන්ධයෙන් පිටු 21ක වාර්තාවක් අද (01) ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් තමන් වෙත ලබා දුන් බවත් එම මහල් ගොඩනැගිල්ලේ ඇතැම් ඉදිකිරීම් ප්‍රමිතියෙන් තොර බවට වර්තාවේ දැක්වන බවත් මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ මහතා පැවසුවේය .
එම ගොඩනැගිල්ලේ ප්‍රමිතිය සම්බන්ධයෙන් මතුව ප්රශ්නකාරී තත්ත්වය හමුවේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය ගොඩනැගිල්ලේ සුන්බුන් අතරින් කම්බි, කොන්ක්‍රීට්, ඇතුළු අමුද්‍රව්‍ය රැගෙන පරික්ෂාවට ලක්කරනු ලැබීය.
එලෙස පරීක්ෂා කිරීමෙන් අනතුරව තහවුරු කරගත් කරුණු අඩංගු වාර්තාව මගින් ගොඩනැගිල්ලේ ප්‍රමිතිය සම්බන්ධව ගැටලු තිබෙන බව තහවුරු කර තිබෙන බවද ආණ්ඩුකාරවරයා පැවසීය .
මහල් පහකින් සමන්විත ගොඩනැගිල්ලේ සියලු කොටස් පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුව සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරියේදී සකස් කරන බවද ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් පැවසීය .
ෂේන් සෙනෙවිරත්න
