මුහුදු වෙරළ ආරක්ෂා කර ගැනීමට, පිරිසිදුව තබා ගැනීමට හා එහි ජීවය ආරක්ෂා කර ගැනීමට ක්‍රියාත්මක කරන වැඩසටහන් සඳහා අමාත්‍යාංශයේ පූර්ණ සහයෝගය ලබා දෙන බව රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා ප්‍රකාශ කරයි
වෙරළ පිරිසිදුව තබා ගැනීමට, එම වෙරළේ තිබෙන ජීවය ආරක්ෂා කර ගැනීමට පෞද්ගලික අංශය සතුව බොහෝ අදහස් තිබෙන බවත් උනන්දුව තිබෙන බවත් ඒ සඳහා රජය හා ප්‍රාදේශීය සභා සමග එකතුවී කටයුතු කිරීමට තමා ආරාධනා කරන බවත් ඒ සඳහා අමාත්‍යාංශය පැත්තෙන් සෑම සහයෝගයක්ම ලබා දෙන බවත් නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැර කිරීමේ හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය ගරු නාලක ගොඩහේවා මැතිතුමා පැවසීය. ඒ, ශ්‍රී ලංකාවේ වෙරළ තීරයන් කේන්ද්‍ර කර ගනිමින් "LifeWorth – Save a Life" වැඩසටහනනෙහි සමාරම්භ උළෙල කොළඹ, වැල්ලවත්ත කිංරෝස් ජීවිතාරක්ෂක වෙරළ තීරයේදී ආරම්භ කෙරුණු අවස්ථාවේදීය.
ශ්‍රී ලංකාවේ ඉතා වටිනා වෙරළ තීරයන් වෙත මහජනතාව ඉතා ආරක්ෂිත ලෙස ආකර්ශනය කර ගැනීම සහ වෙරළාශ්‍රිතව පිහිටි ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක සංගමයේ සමාජයෙන් ජීවිතාරක්ෂක සේවාව ඉදිරියටත් ජාත්‍යන්තර මට්ටමේ කරගෙන යෑම තුළ අප රටට පැමිණෙන සංචාරකයන්ගේ ආකර්ෂණය දිනා ගැනීම හා ඔවුන්ගේ ආරක්ෂාව සඳහා පහසුකම් සැළසීම ද මෙහි අරමුණයි.
මෙම වැඩසටහනෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙසින් සහභාගී වූ ආචාර්ය නාලක ගොඩහේවා මහතා වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.
"අද වැල්ලවත්ත මුහුදු තීරයේ ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය අප ඉතාමත් අගය කරනවා. මෙය පුද්ගලික අංශයෙන් රටට ආදරය කරන පිරිසක් එකතුවෙලා කරන ව්‍යාපෘතියක්.
මෙම ව්‍යාපෘතියේ ප්‍රධානතම අදහස තමයි, වසරකට 1000 පමණ දෙනා මුහුදේ දිය නෑමට විත් ගිලී මිය යනවා. ඉතිං මොවුන් වෙනුවෙන් ආරක්ෂාව සැපයීම සඳහා විශේෂ වූ වැඩපිළිවෙලක් අපේ රටේ තාමත් නැහැ. එම නිසා මෙම කණ්ඩායම් එකතු වී මුහුදේ දිය නෑමට පැමිණෙන පුරවැසියන්ගේ ආරක්ෂාව සඳහා වැඩපිළිවෙලක් ආරම්භ කිරීම. මෙය ඉතාමත්ම හොඳ අදහසක්.
මේවා මෙම ස්ථානයට පමණක් සීමා නොකොට රට වටා ව්‍යාප්ත කළ යුතුයි. කි.මී. 1600ක් පමණ වූ ශ්‍රී ලංකාවේ මුහුදු තීරයෙහි සෑම බිම් අඟලක්ම සියලු දෙනාටම අයිතියි. දේශීය විදේශීය සංචාරකයන්ට මෙන්ම ලංකාවේ සියලු ජනයාට මෙම මුහුදු වෙරළට ගොස් විනෝදවන්නට අවස්ථාව තිබිය යුතුයි. එසේම මෙහි ආරක්ෂාව පිළිබඳව ද සිතා බැලිය යුතුයි. එනිසා ඔබ මේ ආරම්භ කර ඇති ව්‍යාපෘති තවත් ඔබේ මිතුරන්, සමාගම්, පෞද්ගලික අංශයේ ආයතන එකතු කරගෙන රටපුරා ව්‍යාප්ත කරන ලෙස මා ඉල්ලා සිටිනවා.
මේවාට අප සහභාගීවෙන්න ඕනේ. අපිට මෙම මුහුද සම්බන්ධයෙන් වෙරළ සම්බන්ධයෙන් බොහෝ දේ කරන්න පුලුවන් පුරවැසියෝ විදිහට. වෙරළ පිරිසිදුව තබාගන්නට, එම වෙරළේ තිබෙන ජීවය ආරක්ෂා කර ගන්නට, ඔබට බොහෝ අදහස්, උනන්දුව තිබෙනවා. මා ආරාධනා කරනවා ඔබට රජය හා ප්‍රාදේශීය සභා සමග එකතු වී මේ කාර්යය කරන්න කියා. අමාත්‍යාංශය පැත්තෙන් ඒ සඳහා ලබා දිය හැකි සෑම සහයෝගයක්ම අපි ලබා දෙනවා.
මොකද අද පත්වී ඇති ජනාධිපතිතුමා විශ්වාස කරනවා මේ රටේ සෑම පුරවැසියෙකුටම අයිති, ඒ වගේම රට කළමණාකරණය කිරිමේදී සෑම පුවැසියෙකුටම ඒ වෙනුවෙන් සහභාගී විය හැකියි කියා. ඔබට එ් සඳහා වගකීමක් තිබෙනවා. ඔබට අප ඒ සඳහා අවස්ථාවක් සළසා දෙනවා. අප දුටුවා පසුගිය කාලයේ මෙම ජනාධිපතිතුමා පත්වීමෙන් පසු රටේ කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් ඇති වූ ප්‍රබෝදය. පුරන් කුඹුරු වගා කිරීම සම්බන්ධයෙන්. මිනිසුන් ඉදිරියට ඇවිත් එය කරන්න පටන්ගත්තා.
අපි දුටුවා නගර පිරිසිදුව තබා ගැනීම සඳහා, තාප්පවල දැන්වීම් ඇලවීම නවත්වනන්න, පෝස්ටර් ඇලවීම නැවැත්වීම සඳහා ළමයි මේවා පින්තාරු කරන්න පටන්ගත්තා. ඉතිං ඒ වගේ මෙම මුහුද ගැන ද වෙරළ තීරය ගැන ද අවධානය යොමු කරමු. එයට සහභාගී වී එය දියුණු කරන්නේ කෙසේදැයි අප බලමු. මෙම වෙරළ සුන්දරව හා ආරක්ෂිතව තබා ගන්නේ කොහොමද කියන එක ඔබේ අදහස් තිබෙනවා පමණක් නොව ඔබ මේ වගේ ව්‍යාපෘති පටන්ගන්න අපි ඒවට උදව් කරන්නම්.
අවසානයේ අප සියල්ලන්ටම අවශ්‍යවන්නේ සුන්දර රටක්. මේ රට අප සියලු දෙනාටම අයිතියි. අපි සියලු දෙනාටම මේ රටේ සුන්දරත්වය අගය කරනවා වගේම එය ආරක්ෂා කරන්නත් වගකීමක් තිබෙනවා. මෙවැනි ව්‍යාපෘති රාශියක් ඉදිරියේදී දකින්න ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා."
මේ සඳහා ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක සංගමයේ සභාපති අසංක නානායක්කාර, හමීඩියා ආයතනයේ කළමණාකාර අධ්යක්ෂ ෆවුසුල් හමීඩ්, රේන්බෝ පිහිණුම් සමාජයේ ජූලියන් බෝලින් යන මහත්වරුන් ද ඇතුලු පිරිසක් සහභාගී විය.
